Saturday, April 22, 2017

වසන්තයට බේබදු කතාවක්..

මේක වෙලා දැන් අවුරුදු දහයක් හරියටම. 2017දි. ලංකාවේ අන්තිමට වැඩ කරපු ඔෆිස් එකෙන් මං අයින් වෙද්දි සැර පාටියක් දුන්නා. නාන්න අරක්කු. බීලා  බීලා අන්තිමේ පෙරේතකමට තුන්ලොව ජය දෙන කැළෑ කොළ  දෙක තුනක් ඔතලා පානයෙන් පසු තමා ගෙදර ආවේ. 

ඒ දවස්වල මගේ නවාතැන කඩවත. පරණ බස් ස්ටෑන්ඩ් එක අවට. . නිකොඩෝ හෝල් එක ගාව. ඔෆිසියේ එකෙක් බෝ ගහ ගාවින් මාව දාලා ගියා. වෙලාව රෑ එකොළහ පහුවෙලා.. අතේ දුම්වැටි කීපයකුත් ඉතිරිවෙලා තිබ්බා. සාක්කුවේ නොහෙන් හරි හොරකම් කරපු අළුත්ම ගිණි පෙට්ටියකුත්.. එතැන  බැහැලා දුම්වැටියක් දල්වන සෙනිකෙන් අපේ නැන්දගේ පුතා ආවා. උට එතකොට දහ අටක් දහනවයක් ඇති.  ඒ බූරු පුතත් මගේ වෙලාවට කැළෑ කොළ වගයක් පිළිවෙලට අනුමත වෙලා.  නීල් ආම්ස්ටෝංගේ වද පුංචිගේ පුතා වගේ උඩ පැනගෙන ආපු මේකත් සිගරට් එකක් පත්තු කර ගත්තා. ඒක පත්තු කරලා ගිණි කූර පාර පැත්තට කැරම් ෂොට් එකක් වගේ විසි කලා. අන්න ඒ වෙලාවේ තමයි මට ජීවිතේ පහල වුන කක්කිම අදහස පහළ වුනේ. 

" වාහන ගිණි තියමු."

හා.. අඩේ නියම අදහස.. මගේ අතෙත් ගිණි පෙට්ටියක්ම තියෙනවා කියලා මූත් හා වුනා..

ඊට පස්සේ ඉතින් විනෝද සමය.. යන යන වාහනේට අතදලා නවත්තනවා. පාර හදන දවස්වල හින්දා වාහන යන්නෙත් හිමින්.. කාර්ද, වෑන්ද, ත්රීවිලර්ද අතට අහුවෙන තරමේ හැම එකක්ම.. . නවත්තපු ගමන් ගිණි කූරක් ගහනවා. ඇතුලට දානවා. ඔය සෙල්ලම විනාඩි දහයක් විතර කරන් යන්නැති. හෙනම විනෝදයි..

 ඔහොම ටික වෙලාවකින් මගේ  කන ඇතුලේ දෝංකාර දෙන  ටීං සද්දයක් එක්ක පැත්තම හිරි වැටිලා ගියා. හැරිලා බලද්දි හයේ හතරේ පොලිස් මහත්තයෙක්.  මුර සංචාරෙ යද්දි කවුරු හරි ඔත්තුව දීලා. ආව ගමන් මගේ කනට ගහලා තියෙන්නේ. දුවගන්නවත් කල්පනාවක් නෑ. තව පොඩි තරුණ පොලිස් කොස්තාපල් මහත්තයෙක් එක්ක. අපේ මලයා කොන්ඩේ ඒම පාට කරලා කරාබු දාලා. උට වැඩිපුර දෙකක් තුනක් දුන්නා. කතා කරන්න දෙයක් නෑ. දෙන්නගෙ අතේම ගිණි පෙට්ටි. 

යමව් පොලිසියට කියලා අතින් අල්ලගෙන යනවා. මං වෙරි පෝරුවේම පොලිස් පොඩි නිලධාරියාගෙන් විස්තර අහනවා. ගම කොහෙද? රස්සාව හොදද අරක මේක. ඇයි පොලිසියට බැදුනේ. බීවම එන මෝඩ කතා ඉතින්. මට බැණ බැණ මනුස්සයත් උත්තර දෙනවා. අනිත් නිලධාරියා බනිනවා මූ පිස්සෙක්ද කොහෙද? මොනවද මේ කියවන්නේ කිය කිය. 

කෝම හරි ⁣කඩවත ටවුමේ මැද හරියට යද්දි දෙන්නට තේරුනා දැන අපි මේ බඩු පෝරුවේ විකාර කලේ. පොලිසියට අරන් ගිහින් ඒ දෙන්නට අනිත් පොලිස් මහත්වරුන්ගෙන් බැණුම්  අහන්න වෙයි පිස්සෝ දෙන්නෙක් ගෙනාවේ මොකටද කියලා හිතලද මන්දා දෙන්නටම පුකට පයින් දෙකක් ගහලා එලෙව්වා.. මට සිද්ධිය යන්තන් තැනින් තැන මතක තිබ්බේ. කරපු විකාර පස්සේ දවසේ අපේ එකා කිව්වේ. 

ප:ලි - ආහ් හොදම සීන් එක පොලිස් මහත්තයා ගැහුවට පස්සේ මං එයාගෙන්  අහලා ඇයි වාහන ගිණි ගත්තේ නැද්ද කියලා..

8 comments:

  1. උඹලගෙ වෙලාව හොඳයි. අරුං දෙන්නගෙන් එකෙකුට හරි සිරාවට මල පැන්න නං උඹල තාම පෝරියල් කනව.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ඕකටම අනිත් කතාවත් එල්ලහජ

    ReplyDelete
  4. මාත් හරිම අසයි පොලිසියෙන් ගුටි කන්න. උන්ගහන්කොට හරි හුරතල් කතා කිය කියා තමයි ගහන්නේ. තරහා කාරයෝ ගහන වෙලාවට ඔය කතා මුකුත් නැ නේ

    ReplyDelete
  5. ඩුබායි වල වැඩ කර එයාර්ලයින් එකට අලුතෙන් කෙනෙක් (නොන්මුස්ලිම්) ආවාම ලිකර් පර්මිට් එක අතටම දෙන්නේ HR එකෙන්ම. හැබැයි බඩු ප්‍රවාහණයට විතරයි පර්මිට් එක, අනුමත වෙලා පරේ අහුවෙන්න බැහැ. ඒත් ඉතිං පොලීසියට අහුවුනාය කියලා ප්‍රශ්ණයක් නැහැ, ඇඩ්වයිස් කරලා යවනවා. කොහොම කරත් එකම රජාගේ වෙල නෙවැ.
    එහෙම ඇඩ්වයිස් කර පිටත්කරන අපේ එකෙක් පොලිස්කාරයාට කියලා //මාෆි කලාම් ඇරබික්// කියලා අපේ එකා අදහස් කරන්නේ අරාබි කතා කරන්න බැහැ කියන එක වුනත් අරාබියා ගන්න හරි තේරුම //අරාබි කතා කරන්න එපා// කියන එක. නොදන්න බාසාව කතාකරන්න ගිහින් වැරදි දෙකකට ඇතුලට ගියා. හැබැයි ඒක සවුදි වල උනා නම්!

    ReplyDelete
  6. අර වාහනවල ගියෙ අංගවිකල එවුංද?

    ReplyDelete
  7. පොලෝසියෙන් එනකල් බොලා ගුටි නොකා හිටිය කියන එකත් ලොකු දෙයක්.

    ReplyDelete

Related Posts with Thumbnails