Friday, June 30, 2017

සිංහල බ්ලොග් කලාවේ ස්වර්ණමය සමය නිමවුනේ ඇයි? WTF has happened to Sinhala blogging

සිංහල බ්ලොග් කලාවේ මනරම්, විචිත්රවත් හැගීම් දනවන යුගයක් විය. බ්ලොග් රචකයින් සේම කියවන්නන්ද එකසේ උද්යෝගයෙන් බ්ලොග් කලාව රසවිදි ඒ ස්වර්ණමය යුගයට කුමක් විනිද? මේ "නොස්ටැලජියාවෙන්" තැවෙමින් තබන සටහනක් නොව කුමක් වුනිදැයි වසර ගණනක නිරීක්ෂණ ලියා තබන උත්සාහයක් පමණය. සිංහල බ්ලොග් සංස්කෘතියේ මනරම් යුගය අහිමිවීමේ දුකක් දැනෙන්නේම නැති තරම්ය. එසේම මේ නවක බ්ලොග්කරුවන්ගේ ලිවීම් දශමයකින් හෝ අවතක්සේරු කිරීමේ උත්සාහයක්ද නොවන්නේය. හුදෙක් මෙය බ්ලොග් ඉතිහාසයේ යම් පරිච්ඡේදයක නිමාව දැකීමට හේතුභූත වුයේ මොනවාදැයි ලියා තබන උත්සාහයක් පමණක්ය.

ලේඛකයා "සිංහල" බ්ලොග් කියවීම අරඹන්නේ 2007 වසරේ අග භාගයේදිය. එවකට සිංහලෙන් ලියන්නන් අල්ප වූ අතර යුනිකෝඩ් භාවිතය පිළිබද බොහෝ කතිකාවන්ද වේදිකාව මත තිබුනි. එසේම එවකට බ්ලොග් සින්ඩිකේට් වූයේ "සිංහල බ්ලොග් කියවනය" හරහා වූ අතර එය සිංහල බ්ලොග් අවකාශය වසා අතු පතර විහිදුනු මහා වෘක්ෂයක් පරිද්දෙන් වැජඹුනු අයුර තවමත් මතකය. අළුතින් අරඹන බ්ලොගයක් "සින්ඩියට" දමා ගැනීම දරුවෙකු පාසලකට දාගන්නා තරම් සන්තුෂ්ටියක් අත් කරදෙන මාහැගි වික්රමයක් විය.

සිංහල බ්ලොග් කලාවේ ස්වර්ණමය සමය සේ සැලකිය හැක්කේ "සින්ඩියේ" පරිපාලකයින් විසින් බ්ලොග් මැරතන් තබා ලබා දුන් උත්තේජනයන්ගෙන් පසු ඉතා රසට ලියන බ්ලොග් පොකුරක් ලියැවුන 2009-11 අතර කාල සීමාව බව ලේඛකයාගේ අදහසයි. නමුත්, ඉන්පසුව ඉතාම ශීඝ්රයෙන් බ්ලොග් ජනප්රියත්වය නාය යන්නට පටන් ගන්නීය.

බොහෝමයක් බ්ලොග්කරුවන් අතර ජනප්රිය අදහසනම් බ්ලොග් වැටෙන්නට ප්රධාන හේතුව සමාජ ජාල ( විශේෂයෙන් ෆේස්බුක් ) අත්කරගත් ජනප්රියත්වය බවය. එය බ්ලොග් රචකයින්ද පාඨකයින්ද ගොදුරු කරගත් බවය. ටෙලිවිෂනය සිංහල සිනමාවට අත්කරදුන් ඉරණමම ෆේස්බුක්, බ්ලොග් අවකාශයට අත්කර දුන් බවය. බැලූ බැල්මට ඉතා සාධාරණ කතාවක් බව දැනුනද තිරයෙන් පිටුපස සහ දෑස් ඉදිරියේම බ්ලොග් පල්ලම් බැසීමට හේතුවූ බොහෝ දෑ රග දැක්වුනිය. මේ ලේඛකයා එසේ හදුනාගත් මහා හේතු කිහිපයක සංක්ෂප්තයයි.

 මූලිකම හේතුව අන්‍යොන්‍ය ( ඉස්පෙලින් හරිනේ ) පිට කසාගැනීම් වැඩිවීම. කමෙන්ට් බෙදා ගැනීම. .
මගෙන් එයාට පට්ට එකයි.
එයාගෙන් මට බෙට්ට එකයි.

ඉන් පස්සේ සීනියර් ජූනියර් භේදය වැඩේ තවත් චොර කලා.
පරණ අයියලා අක්කලා අළුත් නංගිලා මල්ලිලාට උපදේශන නිකුත් කරන්න ගත්තා.

ආය ලියන්න ගත්තම අර අළුත් වාහනේ අරන් කතරගම ඉදන් පිටියේ දේවාලෙට යනවා වාගේ හැට හුට හමාරක් සින්ඩිවලට බාර ඔප්පු කරන්න, පිං පමුණුවන්න ගත්ත එකෙන් බ්ලොග් ලිවීම ජෝක් එකක් වුනා..

ඉන්පස්සේ බ්ලොග් ලෝකයේ සුද්ධෝදනලා, සාස්තරකාරයෝ, බඩුකාරයෝ ( ( නම් ගම් අවශ්‍ය නෑ මයේ හිතේ )අරුන් මුන් මිනිස්සුන්ගේ හොද හිත උන්ගේ වාසියට පාවිච්චි කරන්න ගත්ත එකෙන් බහුතරයක් මිනිස්සු කලකිරෙන්න ගත්තා. ( ඇත්තටම බ්ලොග් ලියපු වැඩි දෙනෙක් වයස ගියාට සමාජයේ ඇට්ටර නොවුනු බබාලා. ඒක අර මරිසියන්ට නිධානයක් පහල වුනා වගේ වුනා )

ඉන් පස්සේ එක එක කල්ලි හැදුනා. පුද්ගලික ගැටි වෙනුවෙන් තර්ඩ් ක්ලාස් රන්ඩු සරුවල් වලට ගියා. පොඩි එවුන් නෙවෙයි තලත්තෑනි බ්ලොග් ලිවීමෙන් පාඨකයෝ අතරේ ගෞරවයක් දිනාගත්තු මිනිස්සු මේ. මුලදි පොප් කෝර්න් ලග තියාගෙන බැලුවත් පස්සේ පස්සේ මිනිස්සුන්ට මේ නරි නාඩගම් එපා වුනා.

ඒත් එක්කම අර හොරු, පඩ කණ්ඩායම්වලට ගහන්න ඇනොනිමස් මඩ බ්ලොග් බිහිවුනා. ඒකෙන් බ්ලොග්වලට තිබුනු කීර්ති නාමය, පාඨක කැමැත්ත තවත් කුඩු වුනා.

ආහ් 2011 ජනාධිපතිවරණෙන් පස්සේ පට්ට දේශපාලනික බ්ලොග් රොත්තක් පිටින් ආගිය අතක් නැතිවීමත් බ්ලොග්වල බිද වැටීම ඇරඹෙන්න හේතුවක් වුනා..

ඉතින්, අවසානයෙදි බ්ලොග් කලාවට ටෞකණ්ඩ දේව බැල්ම ලැබුනා.

කෙසේ නමුත් දැන් දැන් නැවතත් බ්ලොග් ලිවීම අළුගසා නැගිටින සේයාවක් පෙනෙන්නට තිබීම සතුටක් බවත් පෙර සිදුවූ වැරදි නොවී සුබ ගමනක් යා හැකි යැයිද සිතමු.

ප:ලි-
ෆේස්බුක් පෝස්ටුවකට දැමූ කමෙන්ටුවකින් පසු බ්ලොගයේ ලියා තැබීමද සුදුසුයැයි සිතුනු හෙයින් මෙසේ සටහන් කර තැබිමි.

Thursday, June 15, 2017

කසුන් දිසානායකගෙ උදව්වෙන් අනුරගෙ හෘද සාක්ෂියට එන්න කියමුද?

පහුගිය සතිය ලංකාවෙ තුන්වෙනි දේශපාලන බලවේගය විදිහට නම් කරපු ජේවීපියට ඉතිහාසයේ වැදුනු මාරාන්තිකම ප්‍රහාරයක් එල්ල වුනා. ( කතාවට කිව්වට ඇත්තටම ජේවීපිය තුන්වෙනි බලවිගයද කියන එක ගැන ආය හිතන්න වෙනවා. මොකද ද්‍රවිඩ සංධානය, මුස්ලිම් කොංග්‍රසය වගේ පක්ෂවල චන්ද පදනම ජේවීපියට වඩා වැඩියි ප්‍රතිශතයක් විදිහට ගත්තම. ) කොහොම නමුත් මේ වැදුන වැදිල්ල විමල් කඩාගෙන යෑමටත්, පෙරටුගාමින්ගේ නොහොඳ නෝක්කාඩුවටත් වඩා දරුණු එකක්. ඒක ජේවීපි හිතවාදි නමුත් පාක්ෂික නොවෙන අපි වගේ බහුතරයකට දැනුනට ජේවීපිය තේරුම් අරන් නැති වගක් දැනෙමින් තියෙනවා. ඇත්තම කියනවනම් ජේවීපිය පහුගිය කාලය පුරාම කලේ මෙහෙම චෝදනා එල්ල වෙද්දි නෑසු කන්ව අහක බලාගන්න එක. අනුර අයර්ලන්තෙ මාසයක් හයිඩ් අවුට් වීම, චතුර සේනාරත්නගේ මුදල් ගැනීමේ චෝදනාව, විජේදාසගේ ලක්ෂ විසිපහේ කතාව ආදි වශයෙන් දිගට එල්ල වෙන චෝදනා සහ අපහාස වලදි ජේවිපිය හැසිරුනේ වැල්ලේ ඔළුව හංගා ගැනීම. ඒත් පුක එළියේ. නිකන් පාරෙ යන ක්බ්බෝ වුන චතුරලාත් ජෙප්පන්ට අරින්න ගත්තේ ඒ හින්දා. කොහෝම වුනත් ඒවට වඩා මෙදා පාර වුන වැඩේ දරුණු එකක්.

මෙතනදි ප්‍රශ්ණ කෙර්න්නේ අනුර කුමාර හෝ නිහාල් ගලප්පත්ති කියන පුද්ගලික චරිත වලට වඩා ජේවීපි ඉහළ පෙලේ නායකත්වයේ ප්‍රායෝගික භාවිතයත් ජේවීපිය පෞද්ගලික අධ්‍යාප්ණය ගැන දරන රිනාත්මක ආකල්පයත් අතර තියෙන පරස්පරය. ඒක සරල කතාන්දරයක් නෙවෙයි. පහුගිය කාලය පුරාම ජේවීපිය සයිටම් විරෝධයත් එක්ක හටගත්ත පෞද්ගලික විශ්ව විද්‍යාල විරෝධයත් එක්ක හිටගත්තා. විශේෂයෙන් තමන්ගෙ අතින් ගිලිහුනු අන්තරෙ බලය නැවත ලබාගන්න සූදානමක් ඒක ඇතුලේ තියෙන්න ඇති. ඒත් ජේවීපිය තේරුම් නොගත්ත දේ ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය කොයි තරම් දුරට මහා සමාජය ඉදිරියේ පීචං වෙලාද කියන එක. එනවා-කනවා-නානවා-යනවා කියන එක අන්තරේ ජීව්න චක්‍රය වගේ කියන තැනට ඒ ළමයින් තමන්වම ජෝක් එකක් බවට හරවගත්තා. ඔවුන්ගේ සටන් කොයිතරම් සාධාරණ වුනත් නොමේරුකම හෝ අදේශපාලනික ප්‍රවේශයන් හින්දා ඔවුන් හැම තැනදිම නාගත්තා. ඉතින් ජේවීපිය කරන්න ගියේ පාඩු පිට පාඩු ලබන කම්පැනියක් වෙනුවෙන් තමන්ගේ රක්ෂණ සහතිකය උකස් කලා වගේ වැඩක්. අන්තිමේ තිබ්බ රක්ෂණයත් නැති වුනා.

කොහොම වුනත් නැවතත් ගැටළුවට ආවොත් කෙනෙකුට කියන්න පුළුවන් අනුර සහ කසුන් ( බිරිඳගේ කලින් විවාහයේ පුතා ) ගේ සම්බන්ධකම්වලටත් නිහාල් ගලප්පත්ති සහ එයාගේ පුතා චතුරගේ පිය පුතු සම්බන්ධයට දේශපාලනය ගාවා ගැනීමත් කැත තර්ඩ් ක්ලාස් වැඩක් කියලා. ඔව්, සාධාරණව බලද්දි ඒ දරුවන්ට එතනදි කරන්නේ ලොකු අසාධාරණයක්. තමන්ගේ තාත්තා වෙනම දේශපාලන ප්‍රවාහයක නියමුවෙක් වීම තමන්ගේ පුද්ගලික නිදහස සීමා කරන එක ඒ ළමයින්ගේ පැත්තෙන් පට්ට අසාධාරණයක්. අනිත් පැත්තෙන් ඔවුන් ඒ නායකත්වයෙන් පුද්ගලික වාසි කිසිවක් නොගන්නා තත්වයකදි. ( කසුන් මිහින් ලංකා සහ ඉන් පසුව ශ්‍රීලංකන් සේවයට බැඳීමට අනුරගේ දේශපාලනික මැදිහත්වීමක් නොවුනු බව තහවුරුයි. ) ඒත් ජේවීපී දේශපාලනික තේමාවන්වලදි ඒ දෙවල් ප්‍රශ්ණ කෙරෙන එක නවත්තන්න පුළුවන් කමක් ලැබෙන්නෙ නෑ. ප්ලාස්ටික් පුටුවල ඉඳ ගැනීම, පොදු ප්‍රවාහන සේවා පාවිච්චිය ඉඳලා මන්ත්‍රී වැටුප පක්ෂ අරමුදලට දායක කරන දේශපාලන භාවිතාවකදි තමන්ගේ කුටුම්භයට විතරක් ඒ නායකයින්ට දෙබිඩි පිළිවෙතකින් සලකන්න පුළුවන්ද? පහළ මට්ටමේ සාමාජිකයින් පක්ෂයේ නමින් ඕනෑම මොහොතක ස්වෙච්ඡා සේවයට කැදවන යාන්ත්‍රණයක නියමුවන්ට එවැනි දෙබිඩි ප්‍රතිපත්තියක් තිබිය හැකිද? කසුන් හෝ චතුර හෝ කවුරුන් හෝ දරුවෙක් උසස් අධ්‍යාපණය ලැබීම වරදක් සේ සලකා ප්‍රශ්ණ කරනවා යැයි නොසිතන්න. මේ ප්ශ්ණ කරන්නේ ජෙවීපියේ අධ්‍යාපණ ප්‍රතිපත්තියේ කන්යාභාවයයි. මේ ප්‍රශ්ණ කරන්නේ ජේවීපියේ හෘද සාක්ෂියයි.

මේ ජේවීපියට තම ස්ථාවරයන් ජනතාව වෙත පැහැදිලිව කියා ගුහාගත දේශපාලනයෙන් අත්මිදෙන්නට ලැබුනු හොඳම සහ අවසාන අවස්ථාවයි. මේ තොරතුරු යුගයේ ආදි කාලීන රහස් දේශපාලනික කර්මවේද තවදුරටත් වලංගු නැත. එසේම විශේෂයෙන් වීරයන්ටද ඉඩක් නැත. මේ එළඹෙන යතාර්තය තේරුම් ගෙන වැල්ලේ සඟවා ගත් හිස් එළියට දැමිය යුතු වෙලාවයි. අනුර මේ මිහිරිම වෙලාවයි.
Related Posts with Thumbnails