Saturday, April 22, 2017

වසන්තයට බේබදු කතාවක්..

මේක වෙලා දැන් අවුරුදු දහයක් හරියටම. 2017දි. ලංකාවේ අන්තිමට වැඩ කරපු ඔෆිස් එකෙන් මං අයින් වෙද්දි සැර පාටියක් දුන්නා. නාන්න අරක්කු. බීලා  බීලා අන්තිමේ පෙරේතකමට තුන්ලොව ජය දෙන කැළෑ කොළ  දෙක තුනක් ඔතලා පානයෙන් පසු තමා ගෙදර ආවේ. 

ඒ දවස්වල මගේ නවාතැන කඩවත. පරණ බස් ස්ටෑන්ඩ් එක අවට. . නිකොඩෝ හෝල් එක ගාව. ඔෆිසියේ එකෙක් බෝ ගහ ගාවින් මාව දාලා ගියා. වෙලාව රෑ එකොළහ පහුවෙලා.. අතේ දුම්වැටි කීපයකුත් ඉතිරිවෙලා තිබ්බා. සාක්කුවේ නොහෙන් හරි හොරකම් කරපු අළුත්ම ගිණි පෙට්ටියකුත්.. එතැන  බැහැලා දුම්වැටියක් දල්වන සෙනිකෙන් අපේ නැන්දගේ පුතා ආවා. උට එතකොට දහ අටක් දහනවයක් ඇති.  ඒ බූරු පුතත් මගේ වෙලාවට කැළෑ කොළ වගයක් පිළිවෙලට අනුමත වෙලා.  නීල් ආම්ස්ටෝංගේ වද පුංචිගේ පුතා වගේ උඩ පැනගෙන ආපු මේකත් සිගරට් එකක් පත්තු කර ගත්තා. ඒක පත්තු කරලා ගිණි කූර පාර පැත්තට කැරම් ෂොට් එකක් වගේ විසි කලා. අන්න ඒ වෙලාවේ තමයි මට ජීවිතේ පහල වුන කක්කිම අදහස පහළ වුනේ. 

" වාහන ගිණි තියමු."

හා.. අඩේ නියම අදහස.. මගේ අතෙත් ගිණි පෙට්ටියක්ම තියෙනවා කියලා මූත් හා වුනා..

ඊට පස්සේ ඉතින් විනෝද සමය.. යන යන වාහනේට අතදලා නවත්තනවා. පාර හදන දවස්වල හින්දා වාහන යන්නෙත් හිමින්.. කාර්ද, වෑන්ද, ත්රීවිලර්ද අතට අහුවෙන තරමේ හැම එකක්ම.. . නවත්තපු ගමන් ගිණි කූරක් ගහනවා. ඇතුලට දානවා. ඔය සෙල්ලම විනාඩි දහයක් විතර කරන් යන්නැති. හෙනම විනෝදයි..

 ඔහොම ටික වෙලාවකින් මගේ  කන ඇතුලේ දෝංකාර දෙන  ටීං සද්දයක් එක්ක පැත්තම හිරි වැටිලා ගියා. හැරිලා බලද්දි හයේ හතරේ පොලිස් මහත්තයෙක්.  මුර සංචාරෙ යද්දි කවුරු හරි ඔත්තුව දීලා. ආව ගමන් මගේ කනට ගහලා තියෙන්නේ. දුවගන්නවත් කල්පනාවක් නෑ. තව පොඩි තරුණ පොලිස් කොස්තාපල් මහත්තයෙක් එක්ක. අපේ මලයා කොන්ඩේ ඒම පාට කරලා කරාබු දාලා. උට වැඩිපුර දෙකක් තුනක් දුන්නා. කතා කරන්න දෙයක් නෑ. දෙන්නගෙ අතේම ගිණි පෙට්ටි. 

යමව් පොලිසියට කියලා අතින් අල්ලගෙන යනවා. මං වෙරි පෝරුවේම පොලිස් පොඩි නිලධාරියාගෙන් විස්තර අහනවා. ගම කොහෙද? රස්සාව හොදද අරක මේක. ඇයි පොලිසියට බැදුනේ. බීවම එන මෝඩ කතා ඉතින්. මට බැණ බැණ මනුස්සයත් උත්තර දෙනවා. අනිත් නිලධාරියා බනිනවා මූ පිස්සෙක්ද කොහෙද? මොනවද මේ කියවන්නේ කිය කිය. 

කෝම හරි ⁣කඩවත ටවුමේ මැද හරියට යද්දි දෙන්නට තේරුනා දැන අපි මේ බඩු පෝරුවේ විකාර කලේ. පොලිසියට අරන් ගිහින් ඒ දෙන්නට අනිත් පොලිස් මහත්වරුන්ගෙන් බැණුම්  අහන්න වෙයි පිස්සෝ දෙන්නෙක් ගෙනාවේ මොකටද කියලා හිතලද මන්දා දෙන්නටම පුකට පයින් දෙකක් ගහලා එලෙව්වා.. මට සිද්ධිය යන්තන් තැනින් තැන මතක තිබ්බේ. කරපු විකාර පස්සේ දවසේ අපේ එකා කිව්වේ. 

ප:ලි - ආහ් හොදම සීන් එක පොලිස් මහත්තයා ගැහුවට පස්සේ මං එයාගෙන්  අහලා ඇයි වාහන ගිණි ගත්තේ නැද්ද කියලා..

Thursday, March 16, 2017

කෙටි තරු කතාවක්.. - Stars and Us

අර අර දිලිසෙනම එක මොකක්ද...

ඒ සිකුරු නේ..

ආහ් සිකුරු තරුව.

ඒක තරුවක් නෙවෙයි මෝඩයෝ. ග්‍රහ ලෝකයක්. අපිට දෙවැනියට ළඟම ග්‍රහ ලෝකේ. පෘතුවියට සෑහෙන්න සමාන ලක්ෂණ තියෙනවා ඒකේ. ඒ වුනාට මිනිස්සුන්ට ජීවත් වෙන්න සුදුසු පරිසරයක් නෑ. අනික ඒක දිලිසෙනවා නෙවෙයි ඔය. ඉර එළිය වැදිලා පරාවර්තනය වෙනෝ.

හරි හරි අනේ මොකක් හරි තරුවක්නේ. නැත්තන් දිලිසෙන්නේ. ඇයි ඒකටම නේහ් පහන් තරුව කියන්නේ. ඒහ් ඉරබටු තරුවත් කියනවා නී..

අනේ අම්මේ ඉතින්. ඔව් ඔව් ඒක තරුවක් තමා. ආහ් මේ ඔයාගේ බාගේ.

ඔට්ටු නෑ හරිද. ඔයා වැඩියෙන් බීලා. ආර් එකත් පහුවෙනකල් මේ. හරි නරකයි ඔයානම්.

හ්ම්..

මොකද ඒ පාර බකමූණෙක් වගේ හ්ම්.. හ්ම්.. ගාන්න ගත්තේ. මං විහිළුවටනේ කිව්වේ. ඒකට තරහා ගන්න ඕනද?

ඒකට නෙවෙයි.

එහෙනම්.

අපේ ගෙදරින් ආයෙත් වෙලාව බලන්න ඕනළු..

ඉතින් අනේ ඊළඟ පාර ගමේ යද්දි ලොකු ග්‍රෑන්ඩ් ෆාදර් ඔර්ලෝසුවක් ගිහින් දෙන්නකෝ බලාගන්න. තියෙන එකේ කටු පොඩිළුද.. හිහි..

විහිළු නෙවෙයි බබා. ඔයා දන්නවනේ ඉතින් අම්මලාගේ විදිහ.

හරි හරි ඉතින් මං ඔයාට මගේ ඉපදුන වෙලාව දුන්නනේ. ඔයා කාටද දීලා බැලුවා නේහ් මැච් කරලා.

ඒකනේ මං හැම වෙලේම කියන්නේ. ඔයාට මං කිව්ව ඒවයෙ කිසිම ගාණක් නෑ.

හරි හරි මොකද කරන්නෙ දැන්.

අපි ඔයාගේ වෙලාව වෙනස් කරලා එකක් හදමු මගේ කේන්දරේට මැච් වෙන්න. හාද?

මේ අහන්න.

ඔව්.

එහෙම කරන්නම ඕනද? අපි ඇත්තම කියමුද?

මොකක්ද? ඔයාගේ කේන්දරේ ගැලපෙන්නේ නෑ කියලා. ඔයාට වැදුනද කොටයක් ගහලා.

නෑ. ඔය සිකුරු අරවා මේවා අහසේ පේන ඒවා ගැන ඔයා මට කියන කතා. ඒවා ග්‍රහලෝක විතරයි අඩුගානේ ඒවයේ පණක්වත් නෑ. එයාලා ඉන්න තැන්වල හිටපුවාවේ. අපිට මොකුත් කරන්න එයාලට බෑ කියලා.

Saturday, March 11, 2017

පන්නිපිටියේ බෝ ගසක් තිබේ ...

බෝ ගහ කපනවට එක දේශපාලන මතවාදයක් දරන පිරිසක් විරුද්ධයි. එතැන තියෙන්නේ ගස් රැක ගැනීමේ ආදරයක් නෙවෙයි දේශපාලනික වාසියක් ගැනීමේ අරමුණක් කියන එක පැහැදිලියි. මොකද ඒම ගස් ගැන කැක්කුමක් තිබ්බනම් ඒ කාලේ ඔටුන්න හිමි කුමාරයා සිංහරාජේ කපද්දි, බදුර්දීන් විල්පත්තුව කපද්දි මේ තනි ගහ රකින්න ඔට්ටු වෙන ඔට්ටුවිල්ලෙ හැටියට මරාගෙන මැරෙන්න ඕනා. එයැයිලා ඒ කාලේ සුපර් ග්ලූ ගිල්ල වානරයෝ වගේ දොරවල් දෙකම හාවෙලානේ හිටියේ.

ඊළගට ගහ කපන්නම ඕන කියලා හත් පොලේ හැපි හැපි කක්කි පැත්ත පොළවේ ගහගන්න සංවර්ධණය වෙනුවෙන් ඇපකැප වුනු ජනතාව.එයාලට මේ ගහ කපා දාලා සංවර්ධණේට පියමං කරන මාවත විවර කරන්න වගේ බඩේ අමාරු නෑ. එයාලට ඒම කැසිල්ලක් තියේනම් මහ දවාලේ එයාලගෙ කියලා හිතාගෙන ඉන්න ආණ්ඩුවෙන් රටේ ආර්තික මර්මස්තානය මංකොල්ල කද්දි ඒ ගැන කතා කරන්න තිබ්බනේ. එයාලට ඒම සුභ සිහින නෑ. මේ දගලන්නේ ලැබුන අවස්තාවෙන් අනිත් එවුන්ට රිද්දවන්න. අපිටත් පුළුවන් ඩෝ ටෞකන්ඩ කියලා පෙනේ පුප්පන්න. අතරින් පතර ටික දෙනෙක් අවංක හැගීමකින් කතා කලත් බහුතරයකගේ ඇත්ත උවමනාව ඒක. ගහක් කපාගන්නවත් බැර් ආණ්ඩුවකට අපි කඩේ ගියේ අපරාදේ ඕයි කියවෙන්නේ අර අනිත් එකාට රිදවන්න තියෙන ආශාවට..
ඒ අතරට එකතුවෙන ආතල්ම සෙට් එක තමා වෙන වෙලාවට ගොයම බේරන්න ගහන ගැරැමක්සොන්වගට මැරෙන බජිරි පැලේ ගැන පවා මහා කරුණාවෙන් අධි මානුෂීය කයි කතන්දර පබදින නිරාගමේ පාදිලිතුමාලා.
උන් වහන්සේලා බුද්ධාගමට ටෞකෝලා ගන්න අද හොදම දවස බෝ ගහට බඩු හම්බුවෙනවානම් කියලා කියනවා දකිද්දි හරි තන්තෝෂයි ඉතින්.
දේශපාලනික අන්තවාදින් අතරට මේ ආගමික අන්තවාදියොත් එකතු වුනාම ලංකාව ඉස්සරහට නොයන්නේ ඉන්දියාවේ හැප්පෙන හින්දාම නෙවෙයි කියන එක ඉතා පැහැදිලියි. ඔන්නෝකයි තත්තේ....

කොහොම වුනත් මිනිස් වනාන්තරයක හුදකලා වුන අතු කොළ පිරිච්ච ගහක් කියන්නේ කැළේක හැදුන නිකන්ම නිකන් ගහකට වඩා වෙනස්ම ජීවියෙක්. නගරයේ සලකුණක්. නගරයක් හුස්ම ගන්නවා කියන්න තියෙන සංකේතයක්. ශත පහක ආර්තිකමය වටිනාකමක් නැතත් ජීවිත දාස් ගාණක ගනුදෙණුවලට හවුල් වුන මතකයක්. එහෙම වටිනාකමක් කපලා කොටලා නොදා ඉන්න පුළුවන්නම් වටිනවා ඉතින්.

Sunday, February 26, 2017

ආදර කතාවක්.. A Love Story

ගිහාන් රත්නසේකරගේ ෆේස්බුක් බිත්තිය..
ඔන්ලි මී පෝස්ට්ස්.

දිනය - 2016.12.15
මගේ අදහස එයාට කියන්න තිබුනනම් කොච්චර හොඳද...
මං හිතුවේ නෑ එයා මගේ රික්වෙස්ට් එක පිළිගනීවී කියලා. බුකියේ තැන් තැන්වලදි හමුවෙලා කතා කරලා තිබුනට මං හිතුවේ නෑ එයා මං රික්වෙස්ට් කරපු ගමන් සෙනිකව ඇක්සෙප්ට් කරාවි කියලා. ඉන්බොක්ස් තෑන්ක්ස් කලාම හිනා මූණක් දාලා නිකං හිටියේ ඇයි. එයා දන්නවද මං කැමතියි කියලා. ඒ මොනවා වුනත් මට කෙලින්ම මගේ අදහස කියන්න තිබුනා. රික්වෙස්ට් එක අද දැම්මට අපි සෑහෙන්න අඳුනනවනේ.

දිනය - 2016.12.30

මගේ අදහස එයාට කියන්න තිබුනනම් කොච්චර හොඳද...
සති දෙකක් චැට් කරලා මුණ ගැහෙමු කිව්වම එයාමයි දියත උයනෙදි ඉර හැංගුනාම හම්බවෙමු කීවේ. එයා හිතුවට වඩා ලස්සනයි. පෙනුමට වඩා හිත ලස්සනයි. ගිරවියෙක් වගේ කියවගෙන කියවගෙන යද්දි මං කලේ කට දිහා බකන් නිලාගෙන හිටපු එක විතරයි. ෂිට්. අද තමා හොඳම දවස අදහස කියන්න. මොන මඟුලක්ද මන්දා ඒක කියන්න යද්දි දිව ගොළුවෙනවනේ. ඉන්බොක්ස් ඇහුවනම් මොකද? චැහ් ඒක ගැලපෙන්නේ නෑ. පස්සේ අහමු.

දිනය - 2017.04.30

මගේ අදහස එයාට කියන්න තිබුනනම් කොච්චර හොඳද...
ඒත් එයා ලොකු සතුටකින් වගේ හිටියේ. රාජ් ඇහුවා කිව්වම මං හෙල්ලිලා ගියා. එයා ලොකු සතුටකින් හිටියේ. මං වගේ මෝඩයෙක්. මට කලින්ම මගේ අදහස ඇයට කියන්න තිබුනා. ඒත් දැන් පරක්කු වැඩිද??

දිනය - 2017.06.15

මගේ අදහස එයාට කියන්න තිබුනනම් කොච්චර හොඳද...
එයා අරූට හා කිව්වළු. එයා සතුටින්නම් ඒ ඇති. ඒත් එයාගේ හඬේ මොකක්ද දුකක් තැවරිලා තිබුනද මන්දා. මට පිස්සු. එයා මොකටද දුක් වෙන්නේ. රාජ් එයාට හොඳටම ගැලපෙනවා. ඒත් මට මගේ අදහස කියන්න තිබ්බා. දැන් පරක්කුයි ඉතින්.

දිනය - 2018.05.15

මගේ අදහස එයාට කියන්න තිබුනනම් කොච්චර හොඳද...
මෝඩද? මෝඩද? එයා කොච්චර සතුටින්ද පෝරුවට නැග්ගේ. වෙන මනමාළියෝනම් අඬනවත් එක්ක. එයාගේ වැඩේම හිනාවුන එක විතරයි. මගේ මූණ දිහා බලාගෙන හිනාවෙද්දි මට ඒක දරාගන්න බැරිවුනා. ඒකයි අහක බැලුවේ. ඒත්.. එත්.. මං හිතන්නේ මට මගේ අදහස ඇයට කලින් කියන්න තිබ්බා. හ්ම්.

දිනය - 2040.11.15
මගේ අදහස එයාට කියන්න තිබුනනම් කොච්චර හොඳද...
එයා ගිහින් ඉවරයි. ආය කාට කියන්නද? හුස්ම නොගත්තත් එදා වගේම එයාගේ මූණේ ඒ ආදරණීය හිනාව ඇඳිලා තිබුනා. හරියට මං යනවා කියන්න වගේ. අදින් පස්සේ එයා මතකයක් විතරයි කියලා හිතුනම තවත් ජීවත් වෙන එක තේරුමක් නෑ කියලමයි හිතෙන්නේ. එයාගේ උඩට පස් මිටක් විසි කරන්න තරම් හිතට හයියක් තිබුනේ නෑ. මං එයාට සුබ ගමන් පතලා ආපහු එන්න හැරුනා.

බුකියට ගොඩවුනේ අවසාන ස්ටේටස් එක දාන්න. දැන්නම් ස්ටේටස් එකක් කියවන්න එකෙක් නෑ. ඒකට ඒ කාලේ. ඒත් නොදා බෑ බෑ වගේ දැනුනා. මේකට ඇබ්බැහි වෙයි කියලා කීපාරක්නම් ඩිඇක්ටිවේට් කරන්න ඇත්ද? ඩිඇක්ටිවේට් කරලා ඇක්ටිව් කරපු ගමන් හිටියටත් වඩා ඇබ්බැයි වුනා නේද කියලා මතක් වෙද්දි මෙච්චර දුක අස්සෙත් මට හිනාවක් ගියා. ඒත් කාලෙත් එක්ක ෆේස්බුක් එක නිකන් ටීවි රේඩියෝ වගේ බෝරිං වෙන්න ගත්තාම නිකන්ම අතෑරුනා. අපිම හදපු පැරඩිවලට පහු පහු වෙද්දි අපිම අහුවෙද්දි එපාම වෙලා ගියා. අනික ඒ දවස්වල එකට පිස්සු කෙලපු එවුන් එක එකා පෝළිමට යද්දි මොන බුකිද කියලා හිතුනා.

ආහ්.. මැසේජ් එකක්. ෆේස්බුක් ටෙක්ස්ට් මැසේජ් එකක් හරියට ඒ දවස්වල ටෙලිග්‍රෑම් එකක් වගේ දුර්ලභ අද කාලේ කව්ද ඉන්බොක්ස් කලේ.

පභානිද සිල්වා... තත්පර දහයක විතර කල්පයකට මාව ගල් ගැහුනා. පභානි යන්න කලින් ඔයාට මාව මතක් වුනාද????

යුසර් නේම් : pabhanidesilva86@gmail.com
පාස්වර්ඩ් : pabha15122016
ගිහාන් මේ මඟේ එෆ්බී එකවුන්ට් එක. මං කැමතියි ඔයා ඒකට ලොග්වෙනවනම්.මේක මඟේ අවසාන ඉල්ලීම කියලා හිතන්න.
පභානි.

ආහ්.. ඇයි මේ. ඒක හරියට අනුන්ගේ දිනපොතකට එබෙනවා වගේ නරක වැඩක්නේ. ඒත් එයාගේ මගෙන් ඉල්ලන්නේ ඒකනම්  නොකර කොහොමද?

වෙල්කම් පභානි ඩි සිල්වා..
තවත් පභානිද සිල්වා කෙනෙක් නෑ  හිත යටින් මූමුනන ගමන් ඈගේ වෝල් එකට ගියා.
සෙවන් ඩ්‍රාෆ්ටඩ් පෝස්ට්ස්. ඩූ යූ වොන්ට් ටූ පෝස්ට් දෙම් නව්.
ආහ් ඒ මොනවද? මඟේ කුතුහලය ඇවිස්සුනා.
පරණම එක දෙදහස් දහසයේ ලියපු එකක්..

දිනය - 2016.12.15

මගේ අදහස එයාට කියන්න තිබුනනම් කොච්චර හොඳද...
.................................................................
.................................................................

.................................................................


බොඳ වුනු අකුරු රංචුවක් ස්ක්‍රීන් එකෙන් එළියට පැනලා මඟේ ඉස්සරහා බිඳිලා මැකිලා ගියා...

Friday, February 24, 2017

චතුර, ළහිරු වීරසේකර සහ අළුත් ලෝකයක් ( Incomplete Thoughts )

පහුගිය දවස් කීපයේ ෆේස්බුක් පත්තු කල මාතෘකාව වුනේ චතුරගෙ වික්‍රම. චතුර හින්දා බොහෝ දෙනෙක්ගේ මිදිලා ගල්වෙලා තිබ්බ නිර්මාණශීලි අදහස් දියවෙලා බුකියේ පිටාර ගලන්න ගත්තා. අපේ යාළු චාමි සෑම්ගේ වචනවලින් කිව්වොත් "බුකියේ දහ දෙනෙක් ගත්තොත් නම දෙනෙක්ම කතා කරන්නේ චතුර සේනාරත්න ගැන. ඉතුරු එක්කෙනා චතුර ගැන කතා නොකරන්නේ එයා ගොළු නිසයි. හතුර රැල්ලක් නෙවෙයි කැරැල්ලක් වුනා. චාපා බන්ඩාරගේ ඉන්සයිට් වැඩ සටහනින් පටන් අරන් බීබීසියේ අසාම් අමීන් එක්ක ෆේස්බුක් ලයිව් ෆීඩ් එකක් දීලා. චතුරගේ හැසිරීමේ තමන්ව රටක් ඉදිරියේ අවමානයට පත් වුනාය කියන පසුතැවිල්ලක සේයාවක් තිබුනේ නෑ. ඔහු පුදුමාකාර උද්දාමයකින් හැසිරුනේ. ලයිව් ෆීඩ් එකේ වැටෙන "හාහා" ඊමොජි වැස්ස දැක්කම එයා තවත් කුල්මත් වෙන්න ඇති. නොදැන හෝ බුකිය පාවිච්චි කරන බහුතරයක් දෙනා ( අපිද ඇතුළුව ) චතුරගේ දිගු කාලින සැලසුමක මුල් පියවර ගොඩ දාගන්න උදව් වුනා. දැන් අනාගතයෙදි චතුර කිව්වම නොදන්න එකෙක් හොයාගන්න වෙන්නේ නෑ. කතා දෙකක් නෑ චතුර ජෝක් එකක්. චතුරත් ඒ ගැන නොදන්නවා නෙවෙයි. ඒකයි එයා එයාගේ තාත්තා සංරක්ෂණය කරපු විජය කුමාරණතුංග දේශපාලන සලකුණු ඕං මගේ වැඩ කියලා අමීන් ඉස්සරහා පෙන්වන්නේ. සාමාන්‍ය බුද්ධිය තියෙන ඕන කෙනෙකුට තේරෙනවා මූ කරන්නේ හෙන ජෝක් එකක් කියලා. ඒත් ආය ආයෙත් අපි එයාගේ ජෝක් එක ප්‍රොමෝට් කරන්න පෙළඹෙනවා. ඒකට චතුර තරහා නොගෙන අපිට වඩා සද්දෙට හිනාවෙනවා. ඇත්තටම ජෝක්ස් එක මනාප හැත්තෑ දාහක් අරන් පාර්ලිමේන්තුවේ ඉඳගත්ත චතුර නෙවෙයි.. එයාව යවපු අපි. කවුරු හරි කියයි ගම්පහ එවුන් තමා ඌ යැව්වේ කියලා. නෑ මුළු ලංකාවම ගම්පහ තමයි. චතුර ඒක දන්න හින්දමයි ලංකාවටම පෙනෙන්න අපි ඉල්ලන මෝඩ පාට් එක ඇක්ට් කරන්නේ. ඉතින් මේ සිද්ධි බලාගෙන හිතද්දි හිත අකමැති ඒත් මොළේ ඇනලා පෙන්වන යතාර්තයක් දැනෙන්න ගන්නවා. දේශපාලනයෙදි ජෝක්ස් සිරාවීම ඉතාම සාමාන්‍යයයි. කවුරු හරි 2007 මේ දවස්වල කිව්වනම් ඩොනල්ඩ් ට්‍රම්ෆ් තමයි තව අවුරුදු දහයකින් එක්සත් ජනපදයේ ජනාධිපති කියලා ඒක බඩ අල්ලගෙන පස්ස පැත්තෙන් හිනාවෙන තඩි ජෝක් එකක්. එයා ඊළඟට එළඹෙන මෝඩයගේ දවසෙදි මෝඩම ක්‍රීඩාවක් වෙන රෙස්ලින් වලල්ලෙදි ඩබ්.ඩබ්.ඊ අයිතිකාරයා වෙච්ච වින්ස් මැක්මෝහන් එක්ක ෆයිට් කරන්න නියමිතයි. ඉතින් ඒම කෙනෙක් කෝමද උට්ටෝ අපේ ජනාධිපති කරවන්නේ කියලා සමාර විට ඇමරිකන්කාරයෝ අල්ලගෙන ගහන්න වුනත් තිබ්බා. ඒත් ජෝක්ස් සිරා වෙනවා.

--------------------

මුහුණු පොතේ මිත්‍රයෙක් වෙච්ච මිහිඳු ඉඳුනිල් කෙසඟ රැවුල වවාගත්ත කොළුවෙක්ගෙ පිංතූරයක් ෂෙයාර් කරනවා. "මම අන්තරේ රසිකයෙක් නේමේ. ඒත් මේ පොඩි එකාගේ පෞරුෂයට ගරු කරන්න හිතෙනවා!" කියන ටැග් එකත් එක්ක. මිහිඳු හිතලම කලාද දන්නේ නෑ.  ඒ ෆොටෝවෙ කොළුවගේ අතේ තියෙන්නේ "එපා" කියලා ලියපු පටියක්. ඒක මිහිඳුවගේ ටැග් එකත් එක්ක පට්ට කතාවක් හදනවා.  ඒක වැටුන සැනින් තවත් මූණු පොතේ සරන ළහිරු වීරසේකර ( ආහ් ඌ තමයි ෆොටෝවේ ඉන්නේ ) ගේ ඉස්කෝලෙම සම වයස්වලම ඉගෙන ගත්තු වයසට වඩා මෝරපු එකෙක් වෙන ප්‍රභාත් විතානගේ " අනේ **හන් බන්... උඹලට අසූචි වුනත් රත්තරන් කහිනකල් " කියනවා. ඒක චතුර සේනාරත්නගේ ගොන්පාට්වලටවත් නොආපු හෙන සැර ප්‍රතිවිරෝධයක්. ප්‍රභාත්ට අර පාරට බැහැලා ගිරිය කඩාගෙන කෑ ගහන එකා අසූචි ගොඩක් වගේ පේනවා. දැක්ක ගමන් එක පාරටම ඒක ෂොක් එකක් වුනා. ඒත් සිහි එළවාගත්තම යතාවබෝධය එන්න ගත්තා. මට චතුරයි - ළහිරුයිට වඩා ලඟ සම්බන්ධයක් ප්‍රභාත් සහ ළහිරු අතර හැදෙන්න ගත්තා. ප්‍රභාත් කියන්නේ සෑහෙන හොඳ සමාජ කියවීමක් තියෙන වයසට වඩා මුහුකුරා ගිය දැනුමකින් සන්නද්ධ තරුණයෙක්. තමන්ගේ ජීවිතය හරි පිළිවෙලකට හදාගන්න පදනම දාගෙන ඒ අනුව වැඩ කරන ගමන් බුකියේ සෑහෙන විදග්ධ අදහස් දක්වන තරුණයෙක්. ළහිරු තමන්ට නිදහස් අධ්‍යාපණයෙන් ලැබුනු අවස්තාවත් අහිමි කරගෙන පාරට බැහැලා අනිත් එවුන්ගේ අයිතිවාසිකම් ගැන කෑ මොරදෙන සාමාන්‍යය මිනිහෙකුට මළාට ජීරණය නොවෙන අමුතු ජීවියෙක්.වෙනම පාරවල් දෙකක ඇවිදින සමවයස් තරුණයන් දෙන්නෙක්ගෙන් තමන්ගෙම ගමනක් යන එකාට අනිත් එවුන් වෙනුවෙන් පාරට බහින එකාව අසූචි ගොඩක් වගේ පෙන්නෙනේ ඇයි. ( මෙතන ළහිරුලා අන්තරය හරහා කරගෙන යන වැඩ හරියි කියලා ප්‍රවාදයක් හදනවා නෙවෙයි. පුද්ගලිකව මට කොහොමටත් අන්තරේ මැදිහත්වීම් සෙට් වෙන්නෙම නෑ. අමු ගොබ්බයි. කුහකයි. ) වෙන්නේ ප්‍රභාත්ට නොතේරන කලාපයක ළහිරුලා හැසිරෙනවා. ළහිරුගේ ඇඟේ නරකම තැන්වල ගැට්ටේ සාමාන්‍යය මිනිස්සුන්ට නැති අමාරුකම් තියෙනවා. එහෙම මිනිස්සු අති දුර්ලභයි. ඒවා කෘතිමව නිර්මාණය කරන්න ලේසි චරිත නෙවෙයි. විශේෂයෙන්ම මේ වගේ අති වේගවත් ධාවනයක යෙදෙන ආර්ථික සමාජයීය පසුබිමක්. මීට කලින් පරම්පරාවල එහෙම බිහිවුනු අරිශ්ඨ වගේ එවුන් බහුතරයකට වුනේ ටයර් මාල දාගෙන අන්තිම හුස්ම ගන්න. රටක් ඉස්සරහට යන්න එහෙම අමාරු හැදුන එවුන් නැතිව බෑ කියන එක අර අහිමි වීමේ කාලයන්ගෙන් පස්සේ රට දිහා බැලුවම තේරුම් ගන්න පුළුවන්. රටක දියුණුවට අපි වගේ හාන්සි පුටුවට වෙලා විචාර දෙන බයිලාකාරයන්ට දෙන්න පුළුවන් ගැම්ම අවමයි. වෙන්න ඕනා අර වගේ ගැට්ටේ අමාරු තියෙන එවුන්ගෙන් හරියාකාරව වැඩක් ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන එක මිසක උන් අසූචි ගොඩවල් කියලා  කුණු ගොඩට විසි කරන එක නෙවෙයි.

--------------------

නාසා එකෙන් ජීවය පවතින්න පුළුවන් පරිසර සාධක තියෙන අළුත් ලෝකයක් හොයාගන්නවා. ඒක අපිට සෑහෙන දුරයි. ඒක අපේ හිරු, බොරු, නෙත් වගෙ අටෝරාසියක් ගොසිප් සයිට්වලින් දුන්නේ හරියට හෙට අනිද්දට ඕං පිටසක්කලයෝ නෑගම් එයි ඈ වගේ ගොන් කතාවකින්. ඒවා දැකලා හිනාවක් දාලා අමතක කරන්න හිතුනත් මිනිස්සු ඒ ගොතන කතා සිරා ගන්න විදිහ දැක්කම මොන ජීවිතද අප්පා මේ කියලා හිතෙනවා. ඉංග්‍රීසි චුට්ටක් එක්ක චූටි ගූගල් දැනුමක් තිබ්බනම් ඔරිජිනල් නාසා සයිට් එකෙන්ම ප්‍රවෘතිය කියවලා තහවුරු කරගන්න ඕන තරම් පුළුවන්කම තියෙද්දි අපේ අය අර තඩි පචේට ආශාවෙන් ඇන්දෙනවා. ඉතින් අළුත් ලෝකේ තියෙන්නේ ආලෝක වර්ෂ හතලිකට එහා. ඒ කියන්නේ අපිට පේන්නේ අවුරුදු හතලිහකට කලින් ඒ ග්‍රහ ලෝකවලින් පරාවර්තණය වුනු එළියක්. ඒකෙන් තමා නාසා එකේ අය ඒ ලෝකය දැක ගන්නේ. ආලෝකයේ වේගය ගැන සරල අදහසක් ගන්න ඕනනම්  මෙහෙම හිතන්න. අපි ආලෝකයේ වේගෙන් පෘතුවිය වටේ ගියොත් තත්පරයක් ඇතුලේ වට අටක් ගහන්න පුළුවන්. හිතාගන්න පුළුවන්නේ අළුතෙන් හොයාගත්ත ජීවය තියෙනවයී කියලා අනුමාන කරන සෞරග්‍රහ මණ්ඩලයට අපේ ලෝකේ ඉඳන් තියෙන දුර. මේ තියන තාක්ෂණයත් එක්ක ලොවෙත් අපිට හිතාගන්න බෑ ඒක අහලකටවත් යන්න පුළුවන් වෙයි කියලා. ඒත් ලෝකය ඒ දේවල් ගැන මාර උනන්දුවකින් ඒවා ගැන හොයනවා. අපි මේ විශ්වයේ තනිවෙලා නෑ නේද කියන එක තහවුරු කරගන්න පට්ට ගේමක් දෙනවා. ඒ ගේම් මිනිස් ජාතිය ගැන අළුත් බලාපොරොත්තු ඇති කරනවා. ආලෝකමත් හෙට දවසක්, එකම මානව ජාතියක් ගැන බලාපොරොත්තු දල්වනවා. ඒවා කෑගැහෙන තරම් සිරා වැඩ. ඒ අතරේ අපි රටක් විදිහට චතුරලාට ඕන විදිහට ජෝක්ස් වෙනවා. ළහිරුලාගෙන් ගේම ඉල්ලනවා. මදි පාඩුවට ඉස්කෝලේට ආදරේ කරන එක හොඳද නරකද කියලා හරි පටලැවෙනවා. ඔහොම බලාගෙන යද්දි එපා වෙනවා. ඒත් හෙට ආය බුකිගත වුනාම ආයෙත් සුපුරුදු විදිහට රැල්ලට අහුවෙලා හූ කිය කිය ආතල් ගන්නවා.  :D

Saturday, February 11, 2017

ඇයි එහෙම වෙන්නේ? - What the hell ( Incomplete thoughts )

හමුවුනු තැනින් වෙන් වෙන් වෙන්නනම් ඇයි ලං වුනේ ඇයි මේ තරම්...  කාලයක් පට්ට ආදරේ කරපු ගායකයෙක්ගෙ අළුත් සිංදුවක් කියලා අහන්න ගත්තම ඇහුනේ එහෙම.. හෙන ශෝකාලාපයක්.. හඩනා තරම් මේ හිත මගේ හැරයන්නේ නෑ ඔබ දනීනම් ආයේ ඇහෙනවා එහෙම.. අපේ සිංදුවලට මක්කැයි වුනේ.. ලියන්න හිතාගෙන ගත්තේ පල්ෆ් ෆික්ෂන් මූවි එක ගැන. මේ සිංදුව ඇහෙන්න ගත්තම ඒක අමතක වුනා..

ඇත්තම කියනවනම් ඒ සිංදුවට කැමති හිතෙනවා. එයා කලින් කිව්ව නන්දනීය පෙම වගෙං පට්ට සිංදුවල අහලකින්වත් තියන රහක් නැතත් මේවයෙත් අමුතු එකක් තියෙනවා. ඒත් ඒක අපෙ කන් අහන්න කැමති වචන නෙවෙයි. එයා වගේ අපි නැමත්තෙන් උන්නු "පොරවල්" අතරින් උදේ පාන්දරම අපේ ආතල්වලට කෙලෙව්වේ පැහැසර අරුණක කිව්ව මනුස්සයා. එයා අන්තිමට නැවතුනේ පාරේ අයින් වෙලා යකයන්න කියන කවි කියන තැනකින්. ඇයි එහෙම වෙන්නේ?

ඇයි එහෙම වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ?
මේක හිත ඇතුලේ දෝංකාර දිදී ඇහෙන්න ගන්නවා. ආය ආයෙත් දුකක් වගේ එකක් දැනෙන්න ගන්නවා. ඇත්තටම ඇයි එහෙම වෙන්නේ???

මේකට හරියාකාර උත්තරේ ලැබෙන්නෙ වත් පොතින්.. එතැන අපි බහ තෝරන කාලේ පට්ට සිරා ඩයල් කියලා හෙන උත්කර්ශවයට නංවලා උන්නු ඩෑල්ස් මුන ගැහෙන්න ගන්නවා. අපි දාපු රික්වෙස්ට් එකක් එයාගෙ ඇගිල්ලෙන් ඇනලා ඇක්සෙප්ට් වුනා කියලා දැක්කම ඊට එහා දෙයක් නෑ ඉතින්. ඒ ආතල් එකට ඕනනම් සතියක් නොකා හිටියැකි. ඒත් කල් යන්න යන්න එයාලගේ බුකි හැසිරීම් දැක්කම තේරෙන්න ගන්නවා එයාලත් අපි අපි වගේම තමාය පරමාද්ර්ශ කියලා දෙයක් ලොවෙත් නැතිය. හැමෝම මේ හැදෙන රැල්ලට අනුගතය කියන එක. මාර්ක් සකර්බර්ග් මතු බුදවෙන්න පතනවනම් මං කියන්නේ අපිට ඒ යතාවෝබොධය දෙන්න උපකරණයක් හදපු එකම ඇති ඒ අරමුණට ලං වෙන්න..

ඉතින් අර මුලින් කතා කරපු සිංදු කියන මිනිස්සුන්ටත් ඒ කතාව ගලපගන්න ලේසියෙන් පුළුවන්.....
 එයාලත් ජීවත් වෙන්න ඕන. සල්ලි හොයන්න ඕන.. චරිත මේන්ටේන් කරන එකට
වඩා දරු පවුල රකින එක. රැල්ලේ කොටසක් වෙන එක එයාලට වැදගත්. ඒම නොවුනොත් පැවතීමක් නෑ.

ඉතින් ගුණාත්මක වැඩක් කරන්න හයි හත්තිය තියෙද්දි විකාර වෙන එයාලා පව්. ගොමරිටි අතරෙ මැණික් බලාපොරොත්තු වෙන අපි ඊට වඩා පව්..

Monday, February 6, 2017

පොත් සහ කවර

ආරුගම්බේ ට්‍රිප් එකක් යන යාළුවෝ සෙට් එකක් මොණරාගලට කිට්ටුවෙන්න පාර අයිනේ පොඩි බත් කඩයක් අයිනේ වාහනේ නැවැත්තුවා. දවල්ට කන්ට. කන්ට කිව්වට කන්න විතරම නෙවෙයි.

යාළුවෙක් ගෙනාපු රටබීම බෝතලයක් තමා පානය.
අඩිය හැප්පීමක් ලෑස්තිවෙනවා දැකපු මුදලාලි අනාරාධණයෙන්ම කරවෙන්න බැදපු බල කරවල තසිමක් යාළුවෝ සෙට් එකට ලං කලා.

මනුස්සයා එහා මෙහා වුනාම යාළුවෝ මූණෙන් මූණ බැලුනා. ( වට් ද ෆක් ජස්ට් හැපන්ඩ්. )

ඒහ් බලහං නරියගෙ ඩයල් එක. ( යාළුවො අතර කතාබස්වලදි නරියගෙ අකුරු වෙනස් වෙනවා...)

ඔව් බං. මං දැක්කා මිනිහගෙ රේඩාර් එක බෝතලේ දිහාට වැඩ කරනවා..

කසියම ගහන ඩෑල්ස්නේ. බලාන් කට්ට කළුයි. ගසනවෑති ලොවෙත් නැති වෙන්න.

මේහ් මොකෝ කරන්නේ.

මොනවා කරන්නද? ඔන්න ඔය ග්ලාස් එකක් ගණින්. පෙරේත පංගුව අයින් කරා කියලා හිතාගෙන පූජා කරමු. ෂැන්ඩි.. අනේමේ අහවල් ෂැන්ඩි..

මුදලාලි..

ඇයි මහත්තයෝ. මොනවත් ඕනද?

නෑ.. නෑ.. පොඩ්ඩක් මෙහාට ආවනම්...( මුගේ මෑණියන්ට ඉතින්... බබාවෙන්න හදන්නේ නරිය...)

මුදලාලි මේ පොඩ්ඩක් ගන්න ඉතිම්... මේහ් ආ....

අනේ මහත්තයෝ බොහොම ස්තූතියි.
මං අවුරුදු දහ අටක් ආමි එකෙත් හිටියා.
එහෙදිවත් අරක්කු ඩිංගක් කටේ තියලා නෑ.
මහත්තුරු සතුටෙන් දෙන එක තමා. ඒත් මට එපා.
මං බොන්නෑ මහත්තයෝ.

යාළුවන්ට ළඟ ළඟ දෙවැනි වතාවටත් "වට් ද ෆක් ජස්ට් හැපන්ඩ්" මොහොතක් උදාවුනා.
ඒත් මේ වතාවේ එකිනෙකාගේ මුහුණු බලාගන්න තරම් හයියක් තිබ්බේ නෑ.
ටික වෙලාවක් යනකල් කෙනෙක් පොළවේ වැලි කැටත්, තව එකෙක් දවල් අහසෙ තරුත් ගැන්නා.



කැත කවරවලින් ලස්සන, රසවත් පොතුත් - පාට පාට ලස්සන කවරවලින් මෙළෝරහක් නැති නීරස පොතුත් කවර් වෙන්න පුළුවන් නේද කියලා තේරුනා.

Saturday, February 4, 2017

නිදහස කියන්නේ මේකද? - Is this Fucking Freedom...


නිදහස් දවස එද්දි හැමදාම වගේ මතකයට එන කතන්දර දෙකක් තියේ.

එකක් බෙනට් රත්නායක කරපු හොඳම නිර්මාණය වෙච්ච අස්වැසුම චිත්‍රපටියේ එන සිදුවීමක්. මතකයෙ හැටියට දුප්පත්කමේ අඩියෙම ඉන්න ගැමියෙක් වෙච්ච ජැක්සන් ඇන්තනී පණ පොවන චරිතයේ බිරිඳ ( සංගීතා වීරරත්න ) ට කුළුඳුල් ළමයා හම්බවෙන්න ගිහින් අමාරු වෙනවා. ඒ වෙලාවේ උදව්වක් ඉල්ලන්න ඉන්න එකම මනුස්සයා ගමේ සල්ලිකාරයා වෙච්ච වලව්වේ හාමු ( රවීන්ද්‍ර රන්දෙණිය ) හොයාගෙන රාත්‍රියේ දඹ වැස්සේ ජැකා හති දාගෙන දුවගෙන එනවා. රවින්ද්‍ර දොස්තර කෙනෙක්ද මන්දා ( හරියටම මතක නෑ ). කොහොම වුනත් ජැකා ඒම දුවන් එද්දි වලව්වේ ලොකූ පාටියක්. සුද්දෝ ඒමත් පිරිලා. රවීන්ද්‍ර හොයාගන්න නෑ. සුද්දියක් එක්ක කාමරෙක. වලව්වේ මෙහෙකාරයෙක් කියනවා ඕං ඔය අද සුද්දා මුන්ට නිදහසද මක්කද දෙනවළු ඒකටනේ සාජ්ජේ වගේ කතාවක්. කොහොමින් කොහොම හරි ජැකාට තමන්ගේ දරුවා බේරගන්න බැරිවෙනවා. දරුවා මැරිලා වළදාන්න වළක් කපද්දි මැණිකක් හම්බවෙලා ඉස්සරහට තමයි කතාව දිග හැරෙන්නේ. චිත්‍රපටියකට ගොතපු කතාවක් වුනත් ඒ කාලේ ඉතිහාසය ටිකක් අවුස්සලා බලපුවම තේරෙනවා "නිදහස" කියන එක අපි අපි වගේ එදා උන්නු සාමාන්‍ය ජනතාව ඉල්ලපු දෙයක් තියා ඒක කළුද සුදුද කියලවත් නාදුන්න දෙයක් කියන එක ඊළඟ කතන්දරෙන් පැහැදිලි වෙයි.

මේක අලගල්ල කඳු පාමුල පොත්තපිටිය, මැණික්දිවෙල, තිස්මඩ වගේ ගම්වල නිදහස ලැබුනුදා ඉඳන් අවුරුදු පතා වෙන වැඩක් හතලිස් අටේ කොහොමින් කොහොම හරි ඔය නිදහස දෙනවය කියන හා හූව ඔය ගම්වලටත් ඇවිත් තියෙනවා. ඉතින් කුතුහලෙනේ. අලගල්ලට නැග්ගම කොළඹ ඡායාව වගේ පේනවා. ඉතින් දෙන දෙයක් අපිටත් බලාගන්න ඇහැකි නේ කියලා හිතාගෙන සෙට් එකක් අලගල්ලට නැගලා කොළඹ බලාගෙන බැහැලා. එදා ඉඳන් සිරිතක් විදිහට අදටත් පවුල් පිටින් පෙබරවාරි හතරවෙනිදට අලගල්ල නගිනවා. කන එවුන් කනවා. බොන එවුන් බොනවා. හෙනම ෆන් වැඩක්. පට්ට ආතල් එකක්. උදේම අලගල්ල නැගලා හවස් වෙද්දි කට්ටිය පල්ලම් බහිනවා. ඒත් එදා ඉඳන් අද වෙනකල් බහින කාගෙන් හරි ඇහුවොත් "නිදහස" දෙනවා දැක්කද කියලා කියාගන්න උත්තරයක් නෑ. ඒත් ලබන අවුරුද්දෙත් ආයෙත් "නිදහස" බලාගන්න අලගල්ල නගින එකනම් අනිවාර්යයි. ඒත් තව අවුරුදු සියයකින් ඇහුවත් "නිදහස" දෙනවා දැකපු කෙනෙක් හොයාගන්න වෙන්නෙ නෑ කියන එකත් සිකුරුයි.

-------------

දැන්, අපිට ටීවි එකෙන් පෙන්වනවා "නිදහස" සමරනවා. ගෝල්ෆේස් එකේ ගරු ගාම්භීර විදිහට. අපිට හැකි උපරිමෙන්. ගුවන් හමුදාවෙන් පැරෂුට් වලින් බහිනවා. නාවික හාමුදාවෙන් ඩෝරාවල වැඩ පෙන්වනවා. හමුදාව ගිණි දළු මැදින් පනිනවා. වැඩ කෝටියයි. අපිට හරි සන්තෝෂයි ඉතිම්. ජනාධිපතිතුමා එක්ක රටේ ප්‍රභූමවරු ෆුල් පොෂ් ලයින් එකේ හමුදාවෙන් පිරිනමන උත්තමාචාර පිළිගන්නවා. හෙන ආඩම්බරයක් දැනෙනවා. අපිටත් ලෝකෙ අනිත් එවුන් සමරණවා වාගේම සමරන්න පුළුවන් නේහ් කියලා හිතිලා පපුව පිම්බෙන්න ගන්නවා. හිත ඇතුලේ රත්න දීප ජම්මභූමි ඉඳන් ඉන්ද්‍රචාපගෙ සිංහයෝ වෙනකල් නන්ස්ටොප් වදින්න ගන්නවා.

ඇත්තටම නිදහස සමරනවා කියන්නේ මේකද? සාමාන්‍ය මිනිස්සුන්ට ලං වෙන්නවත් බැරි විදිහට රෝඩ් බ්ලොක්ස් දාලා කවුරු හරි හතුරෙක්ට පේන්න අපේ හයිය පෙන්වන එකද? අණදෙන නිළධාරියා සීරුවෙන් සිටීං-පහසුවෙන් සිටීං කිව්වම ඒ විදිහට හැසිරෙන එකද නිදහස. නිදහසක් කියන්නේ කාට හරි අවනත වෙන එකටද? මොන විදිහේ නිදහසක්ද ඒක.

තමන්ට කැමති විදිහට අතපය හතර දිග හැරලා නිදහසේ හුළං පොදක් වදින්න හොඳම තැන වෙච්ච ගෝල්ෆේස් යන්න බැරි එකට කියන්නේ නිදහස සැමරීමනම් අපි තාමත් ඉන්නේ අර බෙනට්ගේ කතාවේ මෙහෙකාරයා දැකපු "නිදහස" ගැන අයිඩියාවේ නෙවෙයිද?

තවත් අවුරුදු ගාණකටවත් අපි හැමෝම අලගල්ල නැගලා ටීවි එකෙන් නිදහස දෙනවා බලාගෙන ඉමුද?


-------------

නිදහස කියන්නේ මේකද
රොඩ් බ්ලොක් දමා
මැති ඇමැත්තෝ පීඨිකාවේ
උත්තමාචාර ලබන එකටද?

නිදහස කියන්නේ මේකද
ඉහලින් එන අණට
පහසුවෙන් - සීරුවෙන් ඉන්න
හිත හදාගන්නා එකටද?

නිදහස කියන්නේ මේකද
නැන්දා මාමා බලන්ට
යන හැටි පෙන්නාපන් කීවාම
රිලා නැටුම් පෙන්වන එකටද?

නිදහස කියන්නේ මේකද
ගොල්ෆේස් හුළඟත්
තහනම් කරන දවසකටද?

නිදහස කියන්නේ මේකද
අතපය හතරම අකුලාගෙන
ගෙදරට වෙලා හිටු කිව්වම
හා කියන එකටද?

නිදහස කියන්නේ මේකද?

(මේ පද පෙල රුවන් බන්දුජීවගේ "උයනක් කියන්නේ මේකද" නම්වූ විශිෂ්ඨ මල්ටි බැරලයේ ආකෘතියට පෙළ ගැස්වූ බට තුවක්කු වෙඩිල්ලක් බව කරුණාවෙන් සලකන්න..)

Friday, February 3, 2017

සයිටම් සහ (අ) දේශපාලනික ජෝක්ස් - SAITAM vs Humor.

ජාතික ප්‍රතිපත්තියක් හැටියට නොදන්නා මඟුල් ගැන ලිවීම සහ කතා කිරීම අත් හැරලා ගොඩක් කල්. හරියට නොදන්නා සහ බාගෙට දන්නා දේවල් ගැන කතා කරන්න ගිහින් හරියාකාරව ඇණගෙන කිචවීමේ අත්දැකීම් වලින් උගත් පාඩම් තමයි ඉතින්. ආය මොකටද නිස්කාරණේ රෙදි ගලවගන්නේ.

පහුගිය දවස්වල මුහුණු පොත උණුසුම් කරපු මාතෘකාව වුනේ සයිටම් නීතිගත කිරීම ගැන. අධ්‍යාපණය ප්‍රමිතියක් ඇතිව මිලකිරීම ගැන කිසිම විරෝධයක් නැතත් සයිටම් සහ ඒ සම්බන්ධව වැඩි දුර හොයා බලන්න බැරිවුන හින්දම පාඩුවේ වෙන දෙයක් බලාගෙන උන්නා.

කොහොමටත් තමන් කැමති විෂයයක් ඉගෙන ගන්න මිනිස්සුන්ට නිදහස තියෙන්න ඕන. රජයට ඒකට යන වියදම් දරාගන්න බැරිනම් පුද්ගලික ධනය වියදම් කරලා ඒක කරගන්න ඉඩ දෙන්න ඕන. ඇත්තටම දන්නේ නෑ දැන් සයිටම් විරෝධීන් කියනවා වගේ සයිටම් එක ඇතුලේ මෙලෝ ප්‍රමිතියක් නැතිද කියන එක ගැනනම්. හැබැයි උපාධි කඩ වගේ බංකොලොත් කතා කියන එකනම් හරිම විකාරයක්. විශේෂයෙන් රටේ ඒ පරම්පරාවේ ඉස්ප්‍රිට් එක විදිහට තෝරාගෙන රජයෙ වියදමෙන් අධ්‍යාපණය ලබාගන්න තරුණ පිරිස ඒ වගේ පටු, සිල්ලර සටන්පාඨ වලට හිර වෙනවා කියන්නේ එක අතකට ලොකු ඛේදවාචකයක්. දුක හිතෙන වැඩක්.

ඒත් එක්කම හොඳටම හිනායන වැඩේ සයිටම් නීතිගත කරාම හුරේ දාන බහුතරයකගේ අදහස් කියවන එක. බහුතරයක් ඒක ගන්නේ උසස් අධ්‍යාපණයට වැඩි දෙනෙක්ට ඒ හරහා අවස්ථාව ලැබීම වගේ තැනකින් නෙවෙයි. පඩ දොස්තරලට යසම වැඩේ. දැන්නම් ඕකුන්ගේ රැස්පොට් බහියි වගේ හෙන ගොබ්බ තැනකින්. පව් කියලා හිතෙනවා ඉතිම්. ඒවා දැක්කම මතක් වුනේ ඉස්සර කාලේ තමන්ට කිසිම කරදරයක් නොකලත් කාලා ඇඳලා ඉන්න අල්ලපු ගෙදර එකාට හූනියම් වලලන මිනිස්සුන්ගේ හැසිරීම්. කොච්චර ටයි-කෝට් ඇඳලා, අළුත්ම ගැජමැටික්ස්වලින් සන්නද්ද වෙලා උන්නුත් අපිට තාම අර බැද්දේගම සිළිඳුලාගෙන් මෙහාට ඇවිදගන්න බැරිවෙලා. බහුතරයක් පරණ කාලේ දොස්තරලා එහෙම අහසේ ඇවිදපු එවුන් වුනත් අපේ පරම්පරාවේ එවුන්ගෙන්නම් අතරින් පතර එකෙක් දෙන්නෙක් ඇරෙන්න ගොඩක් එවුන් පොළවේ පයගහලා ඉන්න මිනිස්සු.

කොහොම වුනත් මේක ලියන්න හිතුනේ අද ඇත්තටම සතුටු හිතුනු දවසක් හින්දා. සහ ඒත් එක්කම අපි පැටළිලා ඉන්න පඹගාල ගැන තඩි හිනාවක් ගිය හින්දා.

සතුටු හිතුනු කාරණාව
පෙරටුගාමි දේශපාලනය සහ සමාජ භාවිතාව ගැන ලොකු පැහැදීමක් නැතත් කාලයක් තිස්සේ කෙනෙහිලිකම්වලටම ලක්වුනු කුමාර් ගුණරත්නම්ට ආයෙත් එයා මේ රටේ පුරවැසියෙක්ය කියන පිළිගැනීම ලැබිලා. මොන දේශපාලන මතවාදය දැරුවත් තමන්ගේ අක්මුල් තියෙන රටේ අයිතිය මිනිහෙක්ට නැතිවෙනවය කියන එක මොන වගේ අපරාධයක්ද? අනික පුද්ගලික අභිවෘද්ධිය ගැන නොහිතා ජීවිතයම රටට හොඳක් කරන්න පුළුවන් කියලා හිතපු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් කැප කරපු මනුස්සකුට එහෙම වෙද්දි මොන වගේ හැඟීමක් ඇතිවෙයිද? පහුගිය නිවාඩුවට ලංකාවට ගියාම අහම්බෙන් දැක්කේ කොටුවේ ස්ටේෂම ඉස්සරහා අටවපු අට්ටාලයක තිහ හතලිහක් ගුලි වෙලා ඉන්නවා. ඒ අතරෙ හිටපු මූණු පොතේ සෑහෙන කාලයක ඉඳන් හොඳ මිතුරියක් වුනු නිල් අක්කා ඇවිත් කියද්දි තමයි දැන ගත්තේ මේ  කුමාර් ගුණරත්නම්ව නිදහස් කරගන්න කරන සත්‍යග්‍රහයයි. එදාට හරියටම අවුරුද්දයි කියලා. ඉතින් ඉස්සරහා තිබ්බ ආධාර පෙට්ටියට නෝට්ටුවක් දාලා පෙරටුගාමි නායකයින්ගෙ මුහුණු බලලා හිනාවක් පෑවට තරහකින් වගේ බලන් උන්නත් ඇත්තටම ඒ මිනිස් කණ්ඩායම ගැන පට්ට ආදරයක් හිතුනා. සමහර විට ෂෝටක් ගහලා, ටැටූ ගහලා කිසිම සමාජවාදි පෙනුමක් නැතිව ඉන්න එකෙක් මොන ජෝක්ස් එකකට අපිට උදව් කරනවද කියලා හිතුනද දන්නෙත් නෑ. කොහොම වුනත් අන්තිමේදි ඒ කුහුඹු මිනිස් එකමුතුව තමන්ගේ සටන දිනාගත්තා. එක පුතෙක්ව තරුණ කාලෙදිම අහිමි කරගත්ත රාජ්මනී ගුණරත්නම් අම්මට අද පට්ට සතුටු දවසක් වෙන්න ඇති. හරියට තමන්ගේ දෙවැනි පුතා ආයෙත් ඉපදුනා වගේ දැනෙනවා ඇති.

තඩි හිනාවට කාරණාව
හිනා කියන්නේ අම්මපා ඇත්තටම හිනා ගියා. ඊයේ දවසේ සයිටමය නීතිගත කරාට පස්සේ අතලොස්සක් හැරෙන්න බුකියේ ජෙප්පෝ, පෙරෙට්ටෝ, භයියෝ හැමෝම වගේ ලංකාවේ නීතිය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය ගැන බරපතල ප්‍රශ්ණ කිරීම් කලා. සාරාංශගත කලොත් ඒක හරියට නීතිය අන්ධයි, උසාවිය බිහිරියි, විනිසුරන් ගොළුයි වගේ ශෝකාලාපයක්. අහන දකින මිනිස්සුන්ගේ හදවත කීරි ගැහිලා චූත් යන තරමට දුක හිතෙන එකක්. ඒ උණුසුමේම කුමාර් ගුණරත්නම්ට පුරවැසි අයිතිය ලැබෙනවා. හම්මට අර සන්ධාන ගත වෙලා උන්නු භයි ජනතාවට හෙනම චූන් එකක් යනවා. හූ ඇද්ද රතු අලින්ට. හොක්කි හොක්කි හූ. කිය කිය ඔලොක්කු දාන්න ගන්නවා. ඕං එහෙනම් අන්තිමේදි යුක්තිය ඉෂ්ට වුනා. ඈහ්.. යකෝ මේ පැය කීපයට අර අබ්බගාත වෙලා චොර වෙලා තිබ්බ නීති පද්ධතිය පිටසක්කලයොවත් ඇවිත්  "විශ්වය සැමටම යුක්තිය ඉටුවන" විදිහට ඇජස් කරලා දුන්නද? :D :D

Thursday, February 2, 2017

ආදරවන්තයින්ගේ මාසෙට ආදර කතා - මතක පෑරීමකි.....

වැලන්ටයින් අත ළඟ. කාලෙකට පස්සේ යුගල සම්බන්ධයක් නැතිව සමරනවා බලන් ඉන්න වෙන වැලන්ටයින් එකක්. යෞවනයේ අග්ගිස්සෙ යන්තන් එල්ලිලා ඉන්න තරුණයෙක් හැටියට ( හෙහ් හෙහ්.. තිස්පහක් වයසක්ද සුදෝ.. :ඵ් ) මං හිතන්නේ මේක හොඳම වෙලාව අතීත ආදර මතක පහුරු ගාලා බලන්න. ඉස්සරහටත් මෙහෙම තනියම මතක් කරන්න අවස්තා එන්න ලොකු සම්භාවිතාවයක් තිබ්බත් වයසත් එක්ක ඒවා මතක් කරද්දි දැනුන උණුසුම් හැඟීම එහෙමත් නැත්තන්  කිචිය, ත්‍රිල් එක නොදැනෙන්න පුළුවන් කියලා හිතෙනවා. ඉතින් ඒ වෙලාවට "කාලය කොතරම් නපුරුද" වාගේ බයිලා සොරි සොරි සිංදු කියවෙනවා. මෑතකදි වුනු පොඩි පහේ සිදුවීමකින් ඒක හොඳටම ඒත්තු ගියා.

කාලයක් තිස්සේ ගූගල් කර කර, බුකියේ කොට කොට හොයපු නමක් තිබ්බා. එහෙම නම් කීපයක්ම තියේ. මේ ඒ අතරින් හොඳම නමක්. 2003 ඔක්තොම්බර් මාසේ බද වැස්ස දවසක ලුම්බිණිය ඉස්සරහා හරියටම කියනවනම් හෙන්‍රි පේද්‍රිස් පාර්ක් එකට මෙහා පැත්තේ තියෙන කුල් ඉස්පොට් එකේදි දැක්කට පස්සේ නොදැකපු මූණක්. ඉතින් හෙව්වා.. හෙව්වා... හෙව්වා.. අන්තිමේ යුනික් වාසගමක් හින්දා ඒක ගහලා ආපු රිසාල්ට්ස්වලට මැසේජ් දදා හෙව්වත් හම්බ වුනේ නෑ.. වෙන මොනවටවත් නෙවෙයි කාලයක් පිස්සු වට්ටපු ඇස් දෙක දකින්න. හිනාව පොඩ්ඩක් බලාගන්න. ම්හ්.. ඔන්න ඔය අදහස අතෑරලා දාලා නිකමට වගේ පහුගිය දවස්වල අවසන් ආදරේට කෙලවෙලා මානසිකව වැටිලා අබ්බගාත ලයින්ස් එකේ ඉද්දි මෙන්න සොයා සොයා ආව මැණික හම්බවුනා. එදා වගේම සෙනිකව කකුලේ නියපොතුවලින් වැදුනු අකුණු පාරක් ඔළුවට යනකල් වැදිලා හතර අතට විහිදෙන්න ගත්තා. 154 බස් එකක් වගේ ඕනවට එපාවට ලබ්.. ඩබ්.. ලබ්.. ඩබ් ගගා හිටපු හිත අස්සේ එක්ස්ප්‍රස් කෝච්චියක් දුවන්න ගත්තා.. ඒත් කියන්න කණගාටුයි පිංවතුනි ඒ ආතල් එක තිවුනේ අංශුමාත්‍රයක කාලයක් පමණයි. පෙම් ලොවදි දුටු ඈමද මේ-ඈටද මා කොර වූයේ-ඈවද මෙච්චරකල් හෙව්වේ වගේ පහන් සිතුවිලි ගලාන ගලාන එන්න ගත්තා. ඉතින් තත්වය ශෝචනීයයි. ඉතින් කෝකටත් කියලා විලිලැජ්ජාව ටිකකට පැත්තකින් තියලා හිතේ අඩියම හරි කාල් ගාලා ගාලා පරණ සුවඳ ටිකක් ලියා තියන එක හොඳයි කියලා හිතුනා. ( දවසක මතක්වෙයිනේ ටෞකන්ඩ මටත් මෙහෙම කාලයක් තිබිලනේ ඕයි කියලවත් නේහ්.. හෙහ් ... හෙහ්.. )

හිරිමල් වයසෙදිම විරුද්ධ ලිංගිකයෝ දාස් ගාණක් අතරින් එකෙක් වෙනුවෙන් පිබිදෙන ආකර්ශණීය හැඟීම ජීවිත කාලයටම ඒ දෙදෙනා අතරම තියාගන්න පුළුවන් වුනු ආදරවන්තයොත් ඇති. ඒත් අපි වගේ හැමදාම ලක් එකේ හිලක් තියෙන වාසනාවන්තයින්ට ඒක උරුම වුනේ නෑ. තුන වසර පන්තියෙදි ඉස් ඉස්සෙලම්ම කෙල්ලෙක්ව මගේම කරගන්න තිබ්බනම් ( ලැජ්ජයි කියන්න ඒත් අක්කෙක් ) හිතිලා ගතවුනු අවුරුදු තිහකට ආසන්න කාලෙදි ජීවිතේ එක එක මංසන්ධිවලදි මුණ ගැහිලා වෙනත් මඟදි හැරිලා ගිය, මාව අතරමං කරපු ගැහැණු බොහොමයි. සමහර ඒවා ආදරේද කියන්නත් බැරි ඇසිපිය හෙලන තරම් වේගෙන් හමුවී වෙන්වුනු හමුවීම්. ගතින් විතරක් බැඳුන බැඳීම්. ඒත් ආපහු හැරිලා බලද්දි ඒ හැම එකක් එක්කම බැඳුනු මතකත් එක්ක ඒ කාලේ හිටපු "මං" මතක් කරගන්න පුළුවන්.

ඒත් කවදාවත් ඒවා අර අමිල නිදහස කියනවා වගේ..

උඹ එක්ක මං ආගිය හැම තැන්
පහුකරගෙන එන්නට වෙනවා හැමදාම උදයේම
ඇස් වහගෙන මං ඒ තැන් පහුකෙරුවත්
රෑ සටහන් පපුවේ මැද මැවුනා
අපි කා බිවු කඩෙන් - සිනමාහල් වලින්
ගනුදෙනුවක් කරගන්නට බැරුවා... තරමට විඳවන්න ළඟ තියාගන්න තරම් මෝඩ නොවුනු එක ගැනනම් එක අතකට සතුටුයි. ටික දවසකට එහෙම දැනුනත් කල් නොයව ලෙඩ හොඳ කරගන්න පුළුවන් හයියක් තිබුනු එක ගැන ඇත්ත්ටම අප්‍රමාණ සන්තෝෂයි. ආදරය කියන්නේ හිමිකරගැනීමම නෙවෙයි අත්හැරීම තමයි නියම ආදරය කියනවනේ. හෙහ්.. හෙහ්.. රෙද්ද තමයි. බොට හොඳ නම් මගේ මොකෑ කියලා හිත හදාගත්තා මිසක එච්චර පරිත්‍යාගශීලි සෙන්ටිමෙන්ටල් වැඩ වුනේ නෑ.

කොහොම වුනත් එදා ඉඳන් මට තිවුනු ලෙඩක් තමයි හම්බවෙන ගෑණි අනිත් එවුන්ට වඩා පට්ට ඉස්මපෙෂල්ය, මේකිනම් මාර වෙනස්ය වගේ මාන්දමික සිතුවිලි පහල වෙන එක. ඇත්තටම කියනවනම් අදටත් ඒ ලෙඩේ හොඳටම සුව වෙලා නෑ මයේ හිතේ. ආය අළුතින් කවුරු හරි එබෙන්න ගත්ත ගමන් පරණ අංතට්ටුව දාගෙන උම්බෑ කියනවා සිකුරුයි. ( මීමා කියලා මස් කඩේට දක්කන්ටැයැ නේහ්... )

ටිකක් සීරියස්ව හිතුවොත් නිමේෂයක හමුවීම් වුනත් ඒ ආදර අන්දර හැම එකකම වෙන වෙනම විඳ ගත්තු උණුහුමක් තිබ්බා. ඇස් දෙක පියාගෙන කසුන්ගේ ඉඳන් නාමල්-දිවුල්-අමරසිරි-පුන්සිරි....... ජෝතී, මිල්ටන්ලා දෙන්නට යනකල් සිංදුවෙන් සිංදුවට මාරු වෙවී විඳින්න පුළුවන් වෙන වෙන වර්ණවල මතක ගොන්නක්. මුල් කාලේ කතන්දරවල හුවමාරු වුනු සෙනෙහෙ කොළ එකතුවක් මෑතක් වෙන තුරුම තිබ්බා. දැන් කොහෙද හොයාගන්න නෑ. මුලට-මැදට-අගට සිංදූ කෑලි දාලා බොළඳ කතා ගොතපු ඒ හැමෝම වගේ අද කොතැනක හරි නැවතිලා ඇති. ඔහෑ ඔහෑ ගාලා ඇඟේ එල්ලේන පොඩි එවුන්ගේ කරච්චල් අස්සෙත්  ඉඳ හිටලා අපිවත් මතක් වෙනවත් ඇති. සමහරවිට මතකයෙන් ගිහිල්ලමත් ඇති. ඒත් ඒ මතක මාරයි. ආදරේ කරද්දි ජීවිතෙන් ගියත් ඔයා දාලා යන්නෑ සුදෝ කියපු මටම උන් කොහේ හරි සතුටින් ඉන්නවා ඇති කියලා හිතලා හිත හදාගන්න පුළුවන් එක ඊටත් මාරයි..

ඒත්..හිතේ කොනක තාමත් අර පරණ මතක උණුහුම ඇල්වෙලා හීතලම  වෙන්න කලින් එකම මොහොතකට හෝ හමුවෙන්න තිබුනානම් හමුවෙලා එදා වගේ පිස්සුවෙන් දොඩවලා වෙන්වෙන්න තිබුනානම් කියන සිතුවිල්ලත් නැත්තෙම නෑ..

කසුන් ගයන - චාමින්ද රත්නසූරිය ලියන මේ සිංදුව අහගෙන ඉද්දි අවුරුදු ගාණක ඒ මතක එකතුව අතරේ ආයෙත් මංමුලා වෙන්න පුළුවන්..

අතීතයේ මා පෙම්බැඳි ලියන්ටයි
මේ ගීය ගයන්නේ
හමුවීම් වෙන්වීම් මැද
ආදරයේ බැඳීම් බිඳීම් අතර ජීවිතේ
ළඟ නොරැඳී රැඳී නික්ම ගිය ඒ
සොඳුරු ලියන්ටයි මේ ගීය ගයන්නේ..

Wednesday, February 1, 2017

චිත්‍රපටි ඔත්තු - Manchester By the Sea

සමාව දීම. කතාවට කියන්නේ වැරදීම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක්. එහෙමනේ. හිතාමතා හෝ නොහිතා අගතියක් වුනාම සමාව දෙන එක ලේසි වැඩක් නෙවෙයි. ඒකට ලොකු තෙතමනයක් තියෙන හදවතක් තියෙන්න ඕන. උපේක්ෂාව ප්‍රගුණ කරලා තියෙන්න ඕන.

ඒත් කෙනෙක්ට තමාටම සමාව දෙන්න සිද්ධ වුනොත්. ඒක ලේසි වැඩක් නෙවෙයි. ලෝකේ දරුණුම අපරාධකාරයාට සමාව දෙන්න හිත හදාගත්තත් තමාටම සමාව දීම. ඒක හදවතයි මොළයයි අතර කරන්න වෙන දරුණුම සටනක්. ගොඩක් වෙලාවට වෙන්නේ මොළය පරාද වෙලා හදවත දිනන එක. මිනිස්සු ජීවිතෙන් පැනලා යන්නේ එහෙම වුනාම. හෘද සාක්ෂිය චෝදනා කරන්න කරන්න මිනිස්සු තමාටම දඬුවම් කරන්න ගන්නවා. විශේෂයෙන් තව කෙනෙක් වෙනුවෙන් තෙතමනය තියෙන කෙනෙක්නම් වැඩේ තවත් බරපතළයි. ආය ජීවිතේටම නිවරදි කරගන්න බැරි වැරැද්දක් වුනොත්. ඒ පසුතැවිල්ලත් එක්ක  තව දුරටත් ජීවත් වෙන්න හයිය තියෙයිද?

කතාව දිග හැරෙන්නේ ලී ෂැන්ඩ්ලර් ( කේසි ඇෆ්ලෙක් ) කියන බොස්ටන්වල බෙස්මන්ට් එකක ජීවත්වෙන නඩත්තු සේවකයාගේ අතීත ආවර්ජන එක්ක. සමාජ ආශ්‍රයක් නැති, නොරුස්සනසුළු - මරුමූස් චරිතයක් වුනත් අතීත ආවර්ජන පෙළ ගැහෙන්නේ ඉතාම සුන්දර මතකයන් විදිහට. ඒ අනුව මුල සිටම  නිර්මාණකරුවා බලන අපිට ඉඟියක් දෙනවා ලී දරුණු ඛේදාවචයකට මුහුණ දෙනවය කියලා. ලීගේ සහෝදරයා වෙන ජෝ හෘදයාබාධයකින් මිය යන අතර ඔහුගේ එකම පුත්‍රයා වන ප්‍රැක්ට්‍රික්ගේ භාරකාරත්වය ජෝගේ අන්තිම කැමති පත්‍රය අනුව ලීට හිමි වෙනවා. එතැන් සිට ලී තමන්ගේ ගමෙන් ඈත්වෙලා හුදෙකලා ජීවිතයක් ගත කරන්න හේතුවත්, තමාගෙවත් භාරකාරත්වය දරාගන්න බැරි ලී තරුණ කොළුවෙක්ගෙ භාරකාරත්වය දරන්නේ කොහොමද කියන කතාවත් ඉදිරියට දිග හැරෙනවා.

සැරින් සැරේට ඇස් තෙත්කරවන, උගුර මැද්දේ ඊයම් බරුවක් හිරකරවන, මෑත කාලේ හොලිවුඩ් නළුවෙකුගෙන් දැකපු පට්ටම රඟපෑමක් එක්ක එන "මැංචෙස්ටර් බයිද සී" චිත්‍රපටි ලෝලියෙක් අනිවාර්යෙන් නැරඹිය යුතු එකක්. චිත්‍රපටිය පුරාම කේසි ඇෆ්ලෙක්ගේ රඟපෑම මෑත කාලයෙ චිත්‍රපටියකදිනම් දෙවැනි වෙන්නේ "ද රෙවෙනන්ට්" චිත්‍රපටියේ ලියෝ ඩි කැප්‍රියෝගේ චරිතයට විතරයි. චිත්‍රපටිය බලනවනම් ටිෂූ පෙට්ටියක් ලඟ තියාගන්න එක වඩාත් සුදුසුයි කියන්න ඕන.

Sunday, January 29, 2017

රණවිරු කතාවක්

උක්කුං මල්ලි ගැන ලියන්න ඕන කියලා හිතිලා ගොඩක් කල්. එහෙම ලිව්වනම් හොඳයි කියලා හිතුනු තනි තනි මිනිස්සු ගොඩාක්  ගැන ඔළුවේ තිබ්බට ලියැවෙන්නේ නෑ ඉතිම්. කාටද ඔව්වට වෙලාවක් !!!

උක්කුං මල්ලි මට මුණ ගැහෙද්දි රණ විරුවෙක්. සුප්පා රණ විරුවෙක්. මාස තුනක් උඩහා ඇදලා නිවාඩු එද්දි කොල්ලෝ ෆුල් රෙස්පා පිට තමයි කොල්ලව පිළිගත්තේ. ආහ් කියන්න බැරිවුනා. ඒ දවස්වල යුද්ධෙ දරුණුම කාලයක්. අපි ඒ ලෙවල් කරන දවස්වල. අලිමංකඩට ගහලා කොටි ආපහු අල්ලගත්තේ ඒ කාලේ මයෙ හිතේ. කෝම හරි ඒ කාලේ උක්කුං මල්ලිලා ( තව රණවිරු ෆෙන්ස්ලා හිටියා සෑහෙන්න ) එකෙක් දෙන්නෙක් හරි නිවාඩු ඇවිත් ගමේ ඉන්නවමයි. ඒ හැමෝටම වඩා උක්කුං මල්ලි අපිත් එක්ක පට්ට විදිහට ෆිට් වුනා. අපි කිව්වේ මායි මඟේ අතිජාත මිත්‍රයෝ තුන්දෙනයි එක්ක. ඔය කාලේ මත්පැන් පානය අපි අත්හිටවලා තිබ්බේ. වෙන මොකුත් නෙවෙයි නැති කමට. ගෝල්ලිෆ්ෆෙක්කට රුපියල් පහක් හොයාගන්න බැරි අපි බොන්නේ *ටේ උගස් කරලද? ඉතින් සාමාන්‍යය විනාශකාරයෝ වගේම අපෙත් එකම තේරීම වුනේ තහනම් වෙච්ච කැළෑ කොළ. ඒ දවස්වල ඔය ඉංග්‍රීසි අකුරු දෙකේ බඩු ලොවෙත් අහලවත් නෑ. සුපිරිසිදු ලෝකල් ස්පෙෂල් තමා ඉතිම්.

උක්කුං මල්ලි අල්ලපු ගමේ. හැබැයි පොරට එහේ ඩෑල්ස් සෙට් වුනේ නෑ. නිවාඩු ආව ගමන් හොයාගෙන එන්නේ අපි හතර දෙනා. ඉබ්බා දියට දාන්නද ඇහුවම දැන්නෑවේ කිව්වා වාගේ උක්කුං මල්ලි අඬ ගැහුව ගමන් කොල්ලෝ යනවා නෙවෙයි දුවනවා. ආහ් තා පොඩ්ඩෙන් අමතක වෙනවා. නමට මල්ලි කිව්වට මිනිහා අපිට වඩා අවුරුදු දහයකටත් වඩා වයසයි. මිනිහම කටුගස්තොටින් හරි බෝගම්බරින් බඩුත් ගෙනල්ලා,සිගරට් මදිවට ෆෝටෙලෝ, ස්වීට් අරවා මේවා ලෑස්ති කරගෙන කතා කරද්දි කව්ද නොයන්නේ. නේහ්.

අනිත් එක මිනිහගේ යුද්ධ කතා. ගුවන් ගත වෙලා ඒවා අහගෙන ඉන්න එකත් වෙනමම ආතල් එකක්. මතක විදිහට මිනිහා ඒ දවස්වල කෝප්‍රල් හෝ ලාන්ස් කෝප්‍රල්. මිනිහා කියන විදිහට කැප්ටන් ඇරුණම අණ දෙන්න පුළුවන් පොරවල්ලගෙ රෑන්ක් එකටළු. ඕවයේ ඇත්ත නැත්ත හොයා බලන්න කාටද ඉතින් උවමනාවක්. ආටි වැදිලා තල් ගස් කරටි පිටිං කුඩු වෙලා යන හැටි, ඕප් බැහලා කොල්ලොන්ට වැදුනම බේරගෙන හෙන හැටි, කන් ළඟින් බුලට් විදගෙන යන හැටි විස්තර කරද්දි අපි රම්බෝ සජීවීව නරඹනවා.  ඒ අතරේ හඬ පහත් කරලා කියන ගම්වලට පැනලා කරන කියන කතන්දරත් නොතිබුනා නෙවෙයි. ඒවා කියද්දි මිනිහගෙ හැසිරීම නම් හිනායන සුළුයි ඉතින්. වටපිට බල බල මිනිහා හඬ උස්පහත් කර කර කියද්දි තනිකරම ඩෙක් පීස් එකක බලපු හාඩ්කෝර් සීන්ස් මැවිලා යනවා. සමහර ඒවා මිනිහා අතින් දාලත් කියන්නත් ඇති. අපිට මොකෑ. ආතල් එකනේ වටින්නේ.

ඔහොම ඔහොම කාලේ යද්දි උක්කුං මල්ලිලත් එක්ක අපේ සම්බන්ධකම් ටික ටික අඩු වුනා. ඒලෙවෙල් ඇණගත්තම අපිත් යුද්ධෙට යන්ටය. උක්කුං මල්ලිලා ඉන්නේ ඒකටනේ. රණවිරුවොනෙ. අපි සෙට් එකත් එක එක පැතිවලට විසි වුනා. සමහරු රට ආවා. අරක මේක.

උක්කුං මල්ලි ගැනත් ලොකුවට ආරංචි නොලැබුනත් මිනිහා මානුෂික මෙහෙයුමෙත් හිටියා කියලා ආරංචි වුනා.  ඉතින් අපිත් එක්ක එකට කාපු බීපු එකෙක් රට වෙනුවෙන් කැප වෙද්දි අපිට ආඩම්බර හිතුනා. පස්සෙන් පහු මාවිල් ආරුවෙන් යුද්ධෙට තිත තියද්දි අපිත් ලංකාවෙන් පිට ඉඳන් උක්කුං මල්ලිලාට චියර්ස් කරලා පට්ට පාටියක් දැම්මා. අම්මපා බඩු පෝරුවෙත් මට මිනිහා මතක් වුනා. එල කොල්ලා. ඌ ජීවතුන් අතරද නැද්ද කියලවත් නොදැන උට හිතින් උම්මා දුන්නා. ඇත්තටම උන්ට මොකෑ වුනේ කියන එක හොයන්න තරම් උවමනාවක් තිබ්බෙ නෑ.  ලැජ්ජයි තමා. ඇත්ත ඒක.

උක්කුං මල්ලිට මොකෑ වුනේ.

ලංකාවට ගිය වෙලාවක මගේ අතිජාත අපාය සහයකයගෙන් ආරංචි කලා. උගේ මූණ අඳුරු වුනා. අම්මට සිරි.. මං කතාවේ හිස්තැන් පුරවන්න ලෑස්තී වුනා. හිතෙන්ම. ඊට කලින් මගේ එකා ඉස්සර වුනා.

ඌ ඉන්නවා බං.

අම්මට එළනේ. දවසක සෙට් වෙමු ඒනම්.

උඹට පිස්සුද බං. ඌව සමාජෙන් අයින් කරලා ඉන්නේ.

ඒ මොකද අඩේහ්. ඌ පට්ට බුවානේ බං. මතකනේ ඉස්සර දුන්නු ෆන්.

මං පරණ මතක කූඩේ අවුස්සන්න ලෑස්ති වුනා.

ඉස්සර ඩෑල් එක නෙවෙයි බං දැන්. ඌ හෙන **යා වෙලා ඉන්නේ. යුද්ධේ ඉවර වුනාට පස්සේ ඌ පැන්ෂන් ගියා. වීල් එකක් ගත්තා.

විතින් .. ඒක හොඳයිනේ බං..

අහපන්කෝ ඉතින්. පනින් නැතිව. මුලදි මුලදි අපිත් මිනිස්සු කියන කතා විශ්වාස කරේ නෑ. මු කොල්ලොන්ට ගේම් දෙන්න අරන්. සල්ලිවලට පොළු තියන්න. වාහනේ දාගෙන යන කෑලිවලට අරේ මේ.. දන්නවනේ..  දැන් බව්ව දානවා හරියාකාරව.

අඩේහ් සිරාවට. ඉතින් උට කවුරුත් ටෝක් කරලා බැලුවේ නැද්ද බං. මොනවා වුනත් හොඳ එකානේ.

පිස්සුද බං කාටද ඔව්වට වෙලාවක්. ඌ බබා නෙවෙයිනේ. අනික අපි වගේද යුද්ධෙටත් ගිහින් ආපු මොරාල් ඩයල් එකක්. අපි මොනවා කියන්නද??

හ්ම්. ඒකම තමා මචං අවුල.. මං හිතින් කියාගත්තා.

උක්කුං මල්ලි ගැන බලන්න ඕන කියලා හිතාගෙන හිටියට ඒ නිවාඩුවට ඒක කරගන්න බැරිවුනා..

පස්සෙත් ලංකාවට යන හැම වතාවකම හිතාගෙන ගියත්.. කාටද අප්පා ඔව්වට වෙලාවක් තියෙන්නේ... නේහ්...

ඉත්තෝ ( කෙටි කතාවකි ) - පළමු දිග හැරුම

විජිත් ප්‍රසන්න නැවතත් ඒ විකාර හීනය මැදින් පහළට වැටුනේය. මෙවරනම් සැබෑවටම ඇඳපල්ලේම වැටුනේය.

යුරෝපයටම බලපෑ අනපේක්ෂිත කාළගුණ විපර්යාසය ඒ ජනේරුවේ පැරිසියේද ඇටමිඳුළු පසාරු කරමින් තිබුනමුත් විජිත් විසිවසකට පෙර කල්පිටි වෙරළ තීරයෙන් ස්වයං පිටුවහලට ලක්වූ දිනයේ තරමට ඉහින් කනින් දහඩිය වගුරමින් සිටියේය. මිනිත්තු දෙක තුනක් ඇවෑමෙන් සිහි එලවා ගැන්මට පිහිටට ආවේ කවුළුවෙන් විත් තමාටත් හොරෙන් සිමෝනෙගෙ වත සිඹින හීනි ආලෝකයයි..

මුලදි මසකට වරක් දෙවරක් හිත සොලවා දමන එකම හීනය දැන් දැන් දිනපතා විජිත්ගෙ හිත සොලවමින් බියපත් කරන්නේය. කලක් ප්‍රීති ප්‍රමොදයට පත්කල එම ක්‍රීඩාවම විජිත් පසුපස එලවමින් පෙලන නපුරු හීනයක් වීම හෙතෙම අවුලෙන් අවුලට හෙලන්නේය. "ජීවිතේ එහෙම තමා. කාලෙකදි හිත සතුටින් පුරවන දේවල් තවත් කාලෙකදි හිතට දුකක්ම ගේන්න පුළුවන්". ඩිකැන්ටරයෙන් වීදුරුවකට පුරවාගත් ස්කොච් උගුරක් ආමාශගත කරන විජිත්ට කොහෙදි හෝ කියවූ කියමනක් මතකයෙ ඇඳී ගියේය.

 හෙටම බන්ධුවාට ස්කයිප් කරන්න ඕනෑ. විජිත් සිතාගත්තේය.
--------
දේශබන්ධු වික්‍රමතිලකද විජිත් ප්‍රසන්නද දාම් ක්‍රීඩාවේ තකට තකය.

" දාංඔලටට වෝර්ල්ඩ් කප්පෙකක් තිබ්බනම් ඔය මට්ටයොන්ට කලින් අපේ කොල්ලෝ දෙන්නා වොර්ල්ඩ් චැම්පියන්ස්ලා බොලව්."  මොහමඩ් ලාෆීර් බිලියඩ් ලෝක ශූරතාව දිනූ කාලයේ තැපැල් මහත්තයා කජුගහමුල කඩේ ලඟදී දේශබන්ධුත් විජිත් දෙසත් සාඩම්බර බැල්මක් හෙලමින් කිව් මොහොත අදටත් විජිත්ගේ පපු කුහරය පුම්ඹන සුළු හැඟුමක් දනවන්නේය.
සමවයස් ගජමිතුරන් වු දේශබන්ධු සහ විජිත් කිසිදිනක අනෙකාට අභියෝග කරන්නට නොගියෝය. වයසින් කුඩා වුවද කඩපිලේ දවසම ටැග් ගැහෙන මහ මිනිස්සුද උන් දෙදෙනා පොරට නොදැමීමට අප්‍රකාශිත එකඟතාවයකට එළඹී සිටියහ..
_________
උසස් පෙළ උසස් ලෙස සමත් වූ විජිත් පේරාදෙණියෙන් බී.ඒ. ගෞරව උපාධිය ලබා ගමට එද්දි දේශබන්ධු කොතලාවල ඇකඩමියෙන් පිටවන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන ලුතිනන් වරයකු ලෙසය.
________
තරුණ විජිත් ප්‍රසන්න කිව හැකිව තිබූ කතාව...

ඒ පංති අරගලය පිපිරුනු දෙවන කාර්තුවයි. මට ඕනනම් ගුරු පත්වීම් කට්ටක් අරන් පැත්තකට වෙන්න පුළුවන්කම හොඳටම තිබුනා. ඊට පස්සේ සිවිල් සර්විස්..  ඒත්.. ඒත්...මට එහෙම අරගලය පාවලා දෙන්න හිත හදාගන්න බැරිවුනා. හිත හදාගත්තත් පක්ෂෙන් එහෙම ලේසියෙන් ඒකට ඉඩක් ලැබෙන්නෙත් නෑ කියලා මං දැනන් හිටියා. ( කිචේට හිනා වෙන්නේ මොකෑ. මගේ තුන් හිතකවත් විප්ලවෙන් පැනලා යන අදහසක් තිබ්බේ නෑ ඕයි..ඔය තිබ්බ තත්වේ ගැන කිව්වේ. අනික මහනුවර දිස්ත්‍රික්කේ හොඳම වැඩ්ඩෝ පස් දෙනාගෙන් එකෙක් කියලා නායක සහෝදරයා මං ගැන කිව්වලු... ) මිනිපේ පළාතෙම වගකීම පැවරිලා තිබ්බේ මට. දිස්ත්‍රික්කෙම වැඩිපුර ගොවියෝ ඉන්න පළාතම බාරදුන්නේ පක්ෂෙ මං ගැන ලොකු වගකීමකින්. ගොවියෝ තමයි විප්ලවයට ජීවන හුස්ම පිඹින්නේ. නායක සහෝදරයා කිව්වේ එහෙම.

දෙවන ලුතිනන් දේශබන්ධු වික්‍රමතිලක කීවානම් කියන කතාව...

අප්පාහ්.. මටත් ඇකඩමියෙන් අවුට් වෙන්න සැට් වුනේ නියම කාලේ ඈ. එහෙන් උතුරේ ටෙරාලා. මෙහෙන් අපෙ එවුන් පොල්පිති විප්ලවේ. සෙබළෙක්ට රට ජාතියට යුතුකම් ඉෂ්ට කරන්න මීට වඩා චෑන්ස් ලැබෙයිද. නෑනේ. නෑනේ. අනික හරියාකාරව වැඩ පෙන්නුවොත් ඉතින් සට සට ගාලා රෑන්ක් වදින්නේ. මං හිතාගෙන හිටියෙ ඩෙන්සිල් කොබ්බෑකඩුව සර් වගේ වැඩ්ඩෙක් එක්ක වඩමාරච්චි වගේ ඕෆ් එකක් සෙට් වෙයි කියලා. මේකත් අවුලක් නෑ ඉතින් පටන් ගැම්මක් හැටියට. අනික කෙසෙල්පොත කෑම්ප් එකේ ලොක්කත් සුපිරි පොරක් තමයි. මේජර් ඇඳලා තියෙන්නේ වැඩ පෙන්නලාමයි. අනික දන්න කියන පැත්ත හින්දා ජොබ් එක සෙට් වෙනකල් මේකත් හොඳා.. ( ඈහ්.. උතුරට යන්න බයේ බයිලා ගහනවා කියලද හිතේ. මේ වික්‍රමතිලකලා මැරෙන්න බය නෑ ඩෝ. රට ජාතිය වෙනුවෙන් බොක්ක වුනත් ගලවලා දෙනවා. ඒමයි. )
_________
සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් දේශබන්ධු නොකිවු කතාව...

මේජර්ගෙ මූණ දකිද්දිම මට තේරුණා කෙලියක් කෙලවෙන්නම තමා යන්නේ කියලා. ඒත් කව්ද හිතුවේ මෙහෙම මරාලයක් කඩා පාත්වෙයි කියලා. මිනිහා නම් ලිස්ට් එක අතට දීලා මගේ මූණ දිහා නොබලම ඉඳ ගත්තා. මූණ නොබැළුවට මිනිහගෙ ඇස් තිබ්බේ මගේ අත්දෙක දිහාටම ෆෝකස් වෙලා කියලා මට දැනුනේ පස්සේ. බොරු කියන්න ඕන නෑ. මොන දහං ගැටය ගහලා හරි වෙනසක් නොපෙන්නා ඉන්න හැදුවත් දෑතම වෙව්ලලා ගියා. මිනිහෙක්ගෙ වෙනස්කම් හොඳටම බලාගන්න පුළුවන් හොඳම එකක් තමා අත් දෙක. මේජරයම පස්සේ දවසක අඩියකට සෙට් වෙද්දි කිව්වා. විජිතයගෙ නම ලිස්ට් එකේ මුලම. හයිලයිට් කරලම. ඕකා පිස්සෙක් වගේ විප්ලවේ කරන්න ගියා වුනත් මෙච්චර දරුණුවට දැනෙන තරම් පිස්සුවක් කෙලියි කියලා හිතුනෙම නෑ. මට නේද.. සෞරග්‍රහ මණ්ඩලේම ඔළුව වටේ කැරකෙන ගාණයි. මේජරයා අපි දෙන්නා කව්ද කියලා දන්නවද??? ඊළඟ තත්පරේම ඔළුවට ආවේ ඒක. හිත හිත ඉන්න වෙලාවක් තිබ්බේ නෑ. මිනිහම ඒක කිව්වා.

ඊළඟට මට හිතුනෙ මිනිහගෙ ඕඩර් එක අපේ එකාටත් මාලයක් දාලා වෙන එවුන් වගේම රන්දෙනිගල පැත්තේ සෑයක් දාපන් කියයි කියලා.. මොකින් මොකක් වෙයිද කියන උභතෝකෝටිකය ඔළුව අස්සේ පොළා පනින්න ගනිද්දි තමයි මේජරයා මං හීනෙන්වත් නොහිතපු යෝජනාව ගෙනාවේ... උන්නු විදිහට මළා මදෑ.. යන්තන් හුස්මක් වැටුනේ ඒක ඇහුවට පස්සේ..

විප්ලවීය නායක විජිත් ප්‍රසන්න මළාට නොකියන කතාව..

ඒ වෙද්දි දහ අට වංගුවෙන් පල්ලෙහා අපි හොල්ලගෙන හිටියේ. සංවිධානෙට අළුතින් කොල්ලෝ කෙල්ලෝ බන්දා ගන්න එක හිතුවට වඩා ලේසි වුනා. ජනපද හදලා පස්සේ කාලේ අඳේ කරන්න ආපු පවුල්වල දෙවැනි පරම්පරාවේ එවුන්ට එපා වෙලා හිටියේ. අනික ජනපද හදන්න අනාථයෝ වගේ ආවට එන ගමන් පරණ ගම්වල තිබ්බ කුලභේදෙත් කරේ තියාගෙනම ඇවිත් තිබ්බ හින්දා අපේ ජාතියේ එවුන් කොහොමත් පැහැව පැහැව හිටියේ. අළු යට තිබ්බ ගින්න පොඩ්ඩක් පිඹලා මතුකරගන්ට විතරයි තිබ්බේ. පක්ෂේ ඉහලින්ම මගේ නායකත්වය ගැන පැහැදිලා හිටියේ. වෙලාව එනකල් රෙඩි පිට ඉන්න තමයි අපිට තිබ්බේ. එකම අවුලකට තිබ්බේ ශාන්තයටත් මෙහෙටම ඩියුටි වැටුන එක. නොදන්නවා නොදන්නවා වගේ හිටියට ඌ මං සම්බන්ධයි කියන එක මුල ඉඳන් දැනගෙන හිටියා. හැබැයි අපරාදේ කියන්ට බෑ කවදාවත් ඕකා මගෙන් ඒ ගැන නිකමටවත් අහන්න ආවේ නෑ.

ඒත් ලෝකෙම ඔළුව උඩට කඩා පාත් වුනා කියලා දැනුනේ ශාන්තයා එදා රෑ හොරෙන්ම අපේ ගෙදර ආව දවසේ. කියන්න කලින්ම දැන ගත්තා හරියාකාරාව කෙලවෙලා කියලා උගේ මූණ දකිද්දි. උගේ ප්ලෑන අහද්දි අම්මපා දෑත බදලා ඔළුවට මන්නා පාරක් දෙනවා වෙන එකෙක් වුනානම්. එච්චරකට යක්ෂයා ආවේශ වුනා. ඒත්.. ඒත්.. ඌ කිව්ව විදිහට මං ඒ වෙද්දි කර මුලින්ම හිර වෙලා ඉවරයි. වැඩිය දඟලන්න ගියොත් වෙන්නේ මන්ද තවත් හිර වෙන එක. ඌ පණිවිඩේ කියලා ගියාට පස්සේ නිදි පැදුරේම කල්පනා කරලා කරලා එළිය වැටෙද්දි මට තේරුනා.තිබ්බේ තෝරා ගැනීම් දෙකයි. එකක් උට අවනත වෙන එක. නැත්තන් බල්ලෙක් වගේ පාරේ මැරිලා යන එක. (එන  ඕන දේකට සූදානමින් තමයි වැඩේට බැස්සේ. ඒත් මං මැරිලා හම්බවෙන විමුක්තිය මොකක්ද.. හිනා වෙන්ට එපා.. මරබිය දැනුනොත් ඔහෙටත් දවසක ඒක තේරෙයි.. )

---------
එදා රැයේ දේශබන්ධු සහ  ව්ජිත් හමුවෙන් පසු ඉඑතෙක් දිවයිනේ සාර්තකම සංවිධානයක් වූ කන්දෙන් පහළ කණ්ඩායම දිනෙන් දින දුර්වල වූ වගත් සියළු මෙහෙයුම්වල මහ මොළකරුවූ විජිත් හැරෙන්නට විප්ලව කරුවන් එකා පිට එකා අත් අඩංගුවට පත්වන්නට වූ බවත් මතක් කිරීම යුතුකමක් බව සිතමු.

"ප්‍රංශ දාම්" ක්‍රීඩාවෙන් ජය ලබන්නට අසීරුම නැත. අවශ්‍යතාවය ප්‍රතිවාදියාට තමාගේ ඉත්තන් බිලිදීම පමණය.

මතු සම්බන්ධයි.....

අසම්පූර්ණ සටහන් - Incomplete Thoughts

අද නයිට් ඩියුටි. සෙනසුරාදා හින්දා ඉතින් වැඩ නෑ. අරාබියට සෙනසුරාදා කියන්නේ ලංකාවට සඳුදා වාගේ. සතියේ පළවෙනි වැඩකරන දවස. සමහරුන්ටනම් ඒක ඉරිදාත් වෙනවා. අපි වගේ අත්‍යවශ්‍ය සේවා ( හෙහ්.. හෙහ්.. සභාතොමෝ පස්ස ගාත්වලින් සිනාසෙයි.  ) වල යෙදෙන කාර්යබහුල ( නැවතත් සිනා.. ) වගකිවයුතු පුද්ගලයින්ටනම් ඉතින් අද තමා මුල් දවස.. විතින් සුපුරුදු විදිහට සතිය පටන් ගද්දි වැඩ අඩුයි. ඇත්තම කියනවනම් වැඩ නෑ.. මොනවා ලියනවද කියලා මෙලෝ අදහසක් නැතිව සිංදුවක්වත් අහලා ඉමු කියලා ජිරිබිරිස් එකත් කනේ ගහගෙන ඉඳ ගත්තම ඇහෙන්න ගත්තේ...

"කඳුළු ලියකම්.. ඇන්දා සිතුවම්.. ඔබගේ රූ මනරම්... "

ඇස් දෙක පියාගෙන සිංදුව අහලා ඉවරවෙද්දි හිතේ අස්සක හිරවෙලා තිබ්බ දුකක් හරි මොකක් හරි එකක් ඇස් අග්ගිස්සට තෙතට ඇවිත් තිබ්බා... ඇයි ඒ.. රීප්ලේ බටන් එක ඔබලා ආපහු ඇස් පියාගන්න ගමන් ඇහුවා. ඇහුවා නෙවෙයි ඇහුනා. හදිස්සියේම රෝයි පීරිස් ගියපු දුකටද? වෙන්න බෑ. ජීවත්වෙලා ඉන්දැද්දි උන්නද මලාද නොහිතපු මිනිස්සු යද්දි දුක හිතෙන එක විහිළුවක්නේ. නන්නාදුනන ලෝකේ කෙලවරක හරි හුස්මක් හරි නවතිද්දි දුකයි තමා. මූණු පොතේ තැනක හිරාන්ද සේරම් කියන මනුස්සයා දවසක් ලියලා තිබ්බා. ..

මන්දාකිණියේ ඈත කෙලවරක
නන්නාදුනන
ආදරණීය තරුවක් වුව
නිවී යද්දි පාළුයි... වගේ කතාවක්.

ඒත් මේක ඊට එහා ගිය ආත්මනුකම්පාවක් වගේ හැඟීමක්. රෝයිලා තමන් ආව පාර්ට් එක කලා. සතුටු වුනා. සතුට බෙදුවා. එයාගේ ඩියුටිය ඉවර වුනාම යන්න හොඳම දවසේ යන්න ගියා.
අපරාදේ පිළිවෙලක් නැතිව බීවා. නැත්තන් තව කාළයක් ඉන්න තිබ්බා වගේ කතා ඉතින් අපි හදාගන්න බයිලා.
එයාගේ කාලේ උන්නු හැමෝම වගේ එහෙමයි. ලෝබකමක් නැතිව ආදරේ බෙදුවා.
නාමල්, ප්‍රින්ස්, ආත්මා, චන්ද්‍රසේන, ග්‍රේෂන්, මධු මාධව, ශාලිත,චන්දන,ජගත් ...... ලිස්ට් එක දිගට දිගට යන්න පුළුවන්..
ලිස්ට් එක නෙවෙයි වැදගත්.. ඒත් එයාලා යද්දි අපිට වැඩිපුර දැනෙන්නේ ඇයි..????

මං හිතන්නේ එයාලා ගැයුවේ අපි විඳින්න කැමති විදිහේ ආදරය ගැන. අද දවසෙ දෙයියන්ට බුදුන්ට වැඳලා ඉල්ලන, වත්ත වටේ ගිහින් ආවත් ඔයා මගෙමයි, ආදරේ දෙන්න බැරිනම් පපුවට අඟල් හයක් බස්සන්න කියන ආදර ගීතවලට වඩා එයාලා අපේ ඇඟේ ඉන්න ආදරණීය සතාට ගීත ගැයුවා. කාලෙත් එක්ක අපිටත් ඒවා අමතක වෙලා ( ඇත්තම කියනවනම් අමතක කරවලා ) තිබුනු මතක එයාලා ලෙඩ වෙද්දි, යන්නම යද්දි ආය උඩට එද්දි හිතේ දුර්වලම තැන්වල ඇනිලා රිදෙන්න ගන්නවා. ඉතින් අපිට අපි ගැනම දුක හිතෙනවා. රොයිගේ මරණේ දවස්වලම ගෲෆ් චැට් එකකට යාළුවෙක් අහන්න පුළුවන් නරකම ආරංචිවලිනුත් නරකම එකක් ගෙනාවා. පස්සේ ඒක කවුරු හරි කරපු නරක විහිළුවක් කියලා ආරංචි වුනත් එතැන හිටපු අපි දෙතුන් දෙනාම හෙල්ලිලා ගියා. ඒක මහා නරක හැඟීමක්. ආයෙත් හිතෙන්න ගත්තේ ඒ එයාලා යන දුකටද නැත්තන් අපි ගැනම දැනුන දුකටමද කළබල වුනේ කියලා.

මෙව්වා ඉතින් නොස්ටැලජියාව හෙල්ලුනාම එන සෙන්ටිමෙන්ටල් ගොන් පාට් විතරයි. ඒම නැතුව එදා පට්ට-අද ගෝතයි කියන්න නෙවෙයි. හෙන මොඩර්න් විදිහට හිතන්න ගත්තත් ඉතින් අපි තාමත් ඒ කාලෙට ආදරෙයි. නැට්ටට කිරි උනන කාලේ දැනුන මතකය ආයේ ආයෙත් රිද්දෝගෙන විඳින්න කැමතියි. ඒ කාලේ ළඟින් විඳපු අය එක එකා යන්න යද්දි ඒ රිදුම අළුත් වෙනවා. එච්චරයි. මහ දෙයක් නෑ..

Saturday, January 28, 2017

නැවත ලිවීම

අද ජනේරුවේ විසි අටවෙනිදා. නිකමට බ්ලොග් එකේ පළවෙනි පෝස්ට් එක දැම්මේ කවදද කියලා බැලුනා. දෙදාස් දහයේ ජූනි විසි අට. අවුරුදුම හතකට හයහමාරකට කලින්. බල්ලෙක්ගෙනම් ජීවිත කාලයෙන් බාගයක්. දරු මල්ලොත් ලැබිලා. උන්ගේ දරුවොන්ටත් දරුවන්ගෙ දරුවන්ටත් දරුවෝ ලැබිලා, මී බල්ලෙක් වෙන වයසක කාලයක්. සුළුපටු කාළයක්ද. හම්මේ ඉතිම් නේහ්. ඒත් ඉතින් අපි බල්ලෝම නෙවෙයිනේ. ඒ හින්දා මිනිස් අවුරුදුවලින්නම් සූටි කාලයක්.

ලියන්න ගත්තේ ආය ලියපන්, ලියනවකෝ ඕයි, බුකියෙම කොට කොට ඉන්නේ බ්ලොගක් ලියපන් උට්ටෝ වගේ ආදරණීය ඉල්ලීම් එක්ක බේරිලා ඉන්න තියෙන අමාරුවට උනත් නිව් පෝස්ට් බටන් එක එබුවම පරණ යාළුවෙක් හම්බ වුනා වාගේ අමුතු ආදරණීය හැඟීමක් ආවා. අම්මපා ඒක මරු ෆීලිං එකක්. එහෙනම් ඉතින් ආයිමත් මොන මොනවා හරි පල්හෑල්ලක් කොටා දාන්නයි කල්පනාව. වෙලාවක් තියේනම් කියවලා යන්න එන්න. මොනවා ලියනවද නොලියනවද කියන එක ගැන මෙලෝ අදහසක් නෑ ඉතිම්. මොනවා හරි ලියවෙයි. ඒනම් ජයවේවා. ලියාන්ටයි පටන් ගන්නේ. ඔය කිව්වට ආය කාලෙකට අප්ඩේට් වෙන්නෙම නැතිවෙයිද දන්නෑ ඉතිම්.. හෙහ් හෙහ්....
Related Posts with Thumbnails