සිංහල බ්ලොග් කලාවේ මනරම්, විචිත්රවත් හැගීම් දනවන යුගයක් විය. බ්ලොග් රචකයින් සේම කියවන්නන්ද එකසේ උද්යෝගයෙන් බ්ලොග් කලාව රසවිදි ඒ ස්වර්ණමය යුගයට කුමක් විනිද? මේ "නොස්ටැලජියාවෙන්" තැවෙමින් තබන සටහනක් නොව කුමක් වුනිදැයි වසර ගණනක නිරීක්ෂණ ලියා තබන උත්සාහයක් පමණය. සිංහල බ්ලොග් සංස්කෘතියේ මනරම් යුගය අහිමිවීමේ දුකක් දැනෙන්නේම නැති තරම්ය. එසේම මේ නවක බ්ලොග්කරුවන්ගේ ලිවීම් දශමයකින් හෝ අවතක්සේරු කිරීමේ උත්සාහයක්ද නොවන්නේය. හුදෙක් මෙය බ්ලොග් ඉතිහාසයේ යම් පරිච්ඡේදයක නිමාව දැකීමට හේතුභූත වුයේ මොනවාදැයි ලියා තබන උත්සාහයක් පමණක්ය.
ලේඛකයා "සිංහල" බ්ලොග් කියවීම අරඹන්නේ 2007 වසරේ අග භාගයේදිය. එවකට සිංහලෙන් ලියන්නන් අල්ප වූ අතර යුනිකෝඩ් භාවිතය පිළිබද බොහෝ කතිකාවන්ද වේදිකාව මත තිබුනි. එසේම එවකට බ්ලොග් සින්ඩිකේට් වූයේ "සිංහල බ්ලොග් කියවනය" හරහා වූ අතර එය සිංහල බ්ලොග් අවකාශය වසා අතු පතර විහිදුනු මහා වෘක්ෂයක් පරිද්දෙන් වැජඹුනු අයුර තවමත් මතකය. අළුතින් අරඹන බ්ලොගයක් "සින්ඩියට" දමා ගැනීම දරුවෙකු පාසලකට දාගන්නා තරම් සන්තුෂ්ටියක් අත් කරදෙන මාහැගි වික්රමයක් විය.
සිංහල බ්ලොග් කලාවේ ස්වර්ණමය සමය සේ සැලකිය හැක්කේ "සින්ඩියේ" පරිපාලකයින් විසින් බ්ලොග් මැරතන් තබා ලබා දුන් උත්තේජනයන්ගෙන් පසු ඉතා රසට ලියන බ්ලොග් පොකුරක් ලියැවුන 2009-11 අතර කාල සීමාව බව ලේඛකයාගේ අදහසයි. නමුත්, ඉන්පසුව ඉතාම ශීඝ්රයෙන් බ්ලොග් ජනප්රියත්වය නාය යන්නට පටන් ගන්නීය.
බොහෝමයක් බ්ලොග්කරුවන් අතර ජනප්රිය අදහසනම් බ්ලොග් වැටෙන්නට ප්රධාන හේතුව සමාජ ජාල ( විශේෂයෙන් ෆේස්බුක් ) අත්කරගත් ජනප්රියත්වය බවය. එය බ්ලොග් රචකයින්ද පාඨකයින්ද ගොදුරු කරගත් බවය. ටෙලිවිෂනය සිංහල සිනමාවට අත්කරදුන් ඉරණමම ෆේස්බුක්, බ්ලොග් අවකාශයට අත්කර දුන් බවය. බැලූ බැල්මට ඉතා සාධාරණ කතාවක් බව දැනුනද තිරයෙන් පිටුපස සහ දෑස් ඉදිරියේම බ්ලොග් පල්ලම් බැසීමට හේතුවූ බොහෝ දෑ රග දැක්වුනිය. මේ ලේඛකයා එසේ හදුනාගත් මහා හේතු කිහිපයක සංක්ෂප්තයයි.
මූලිකම හේතුව අන්‍යොන්‍ය ( ඉස්පෙලින් හරිනේ ) පිට කසාගැනීම් වැඩිවීම. කමෙන්ට් බෙදා ගැනීම. .
මගෙන් එයාට පට්ට එකයි.
එයාගෙන් මට බෙට්ට එකයි.
ඉන් පස්සේ සීනියර් ජූනියර් භේදය වැඩේ තවත් චොර කලා.
පරණ අයියලා අක්කලා අළුත් නංගිලා මල්ලිලාට උපදේශන නිකුත් කරන්න ගත්තා.
ආය ලියන්න ගත්තම අර අළුත් වාහනේ අරන් කතරගම ඉදන් පිටියේ දේවාලෙට යනවා වාගේ හැට හුට හමාරක් සින්ඩිවලට බාර ඔප්පු කරන්න, පිං පමුණුවන්න ගත්ත එකෙන් බ්ලොග් ලිවීම ජෝක් එකක් වුනා..
ඉන්පස්සේ බ්ලොග් ලෝකයේ සුද්ධෝදනලා, සාස්තරකාරයෝ, බඩුකාරයෝ ( ( නම් ගම් අවශ්‍ය නෑ මයේ හිතේ )අරුන් මුන් මිනිස්සුන්ගේ හොද හිත උන්ගේ වාසියට පාවිච්චි කරන්න ගත්ත එකෙන් බහුතරයක් මිනිස්සු කලකිරෙන්න ගත්තා. ( ඇත්තටම බ්ලොග් ලියපු වැඩි දෙනෙක් වයස ගියාට සමාජයේ ඇට්ටර නොවුනු බබාලා. ඒක අර මරිසියන්ට නිධානයක් පහල වුනා වගේ වුනා )
ඉන් පස්සේ එක එක කල්ලි හැදුනා. පුද්ගලික ගැටි වෙනුවෙන් තර්ඩ් ක්ලාස් රන්ඩු සරුවල් වලට ගියා. පොඩි එවුන් නෙවෙයි තලත්තෑනි බ්ලොග් ලිවීමෙන් පාඨකයෝ අතරේ ගෞරවයක් දිනාගත්තු මිනිස්සු මේ. මුලදි පොප් කෝර්න් ලග තියාගෙන බැලුවත් පස්සේ පස්සේ මිනිස්සුන්ට මේ නරි නාඩගම් එපා වුනා.
ඒත් එක්කම අර හොරු, පඩ කණ්ඩායම්වලට ගහන්න ඇනොනිමස් මඩ බ්ලොග් බිහිවුනා. ඒකෙන් බ්ලොග්වලට තිබුනු කීර්ති නාමය, පාඨක කැමැත්ත තවත් කුඩු වුනා.
ආහ් 2011 ජනාධිපතිවරණෙන් පස්සේ පට්ට දේශපාලනික බ්ලොග් රොත්තක් පිටින් ආගිය අතක් නැතිවීමත් බ්ලොග්වල බිද වැටීම ඇරඹෙන්න හේතුවක් වුනා..
ඉතින්, අවසානයෙදි බ්ලොග් කලාවට ටෞකණ්ඩ දේව බැල්ම ලැබුනා.
කෙසේ නමුත් දැන් දැන් නැවතත් බ්ලොග් ලිවීම අළුගසා නැගිටින සේයාවක් පෙනෙන්නට තිබීම සතුටක් බවත් පෙර සිදුවූ වැරදි නොවී සුබ ගමනක් යා හැකි යැයිද සිතමු.
ප:ලි-
ෆේස්බුක් පෝස්ටුවකට දැමූ කමෙන්ටුවකින් පසු බ්ලොගයේ ලියා තැබීමද සුදුසුයැයි සිතුනු හෙයින් මෙසේ සටහන් කර තැබිමි.
උද්යෝගයෙන් බ්ලොග් කලාව රසවිදි ඒ ස්වර්ණමය යුගයට කුමක් විනිද?
ReplyDeleteවරද කාගේද ? බ්ලොග් ලියන්වුන්ගේද නැතිනම් කියවන එවුන්ගේද
එතකොට බ්ලොග් ලෝකයේ කොස් ඇට බාවන එවුන්
[තමන්හේ වෙබ් සයිට් එක රන්කරගන්න යායවල් පටන් අරන් ඒවායින් ලියන්නට සම්මාන අල්ලස් දීමෙන් ඔවුන් දේශපාලන අතකොලු කර ගැනීම එහෙම ]
බ්ලොග් වලට කෙලවුනා.. සකරයා ලියන්නොයි පාඨකයොයි සේරම ඩැහැගත්තා
ReplyDeleteමමත් හිතන්නේ මේ කතාව බොහෝදුරට ඇත්ත. නමුත් කාටවත් දොස්කියන්න බෑ. ෆේස්බුක් හින්දාම කියන්නත් බැහැ. කන්දක උනත් නැග්ම පමණට වඩා වැඩි උනාමත්, බැස්ම ඒ වගේම ස්ටීප් වෙන්න ඉඩ තියෙනව. නමුත් නැතිවෙලා යන එකක් නැහැ.
ReplyDeleteGood writing..
අපිනං ඉතිං ඔය ලියන එකෙකුට කොමෙන්ට් කෑල්ලක් කොටාගෙන ඉන්නව තමයි ඉතිං.
ReplyDelete'බ්ලොග් ලියන්නෝද මනුස්සයෝය' නෙ දෙයියනේ.
අනේ මන්දා ඉතින්..මම ලියනවා...අනුන්ගෙ ඒවා කියවනවා...ඊට පස්සෙ කමෙන්ට් කරනවා
ReplyDeleteඅතීතයේ කතා...
ReplyDeleteමේවා නිකං හිත නිවන කතා විතරයි.
ReplyDeleteමට නම් කිසිම අමුතු දෙයක් සිදුවුණා යැයි සිතෙන්නේ නෑ. කිසිම දෙයක් හැමදාම එක සේ තිබීමත් බලාපොරොත්තු වෙන්න බෑ. මං දකින්නේ ප්‍රගමණයක්!
මට නම් පැහැදිලිවම කම්මැලිකමක් වගේම කලකිරීමකුත් ආවා. එකක් තමයි කොච්චර ලියුවත් මොකක්ද මේකේ අවසාන අරමුණ කියන දේත් බලපෑවා. ඒවගේම පුද්ගලික කටයුතු වලට මුල් තැන දෙන්නටත් සිදුවුනා. තවත් විටෙක අසනීපයක් හැදිල හිටියත් ඇයි දැන් ලියන්නේ නැත්තේ මොකුත් ගැටළුක්ද කියල අහන්න හිටියේ අතේ ඇගිලි ගානටත් අඩු පිරිසක්. මැෂින් එකකින් නිමි භාණ්ඩ වැඩි ප්‍රමාණයක් බලාපොරොත්තුවෙන්න වගේ දිග ලිපි වැඩි ගණනක් බලාපොරොත්තුවෙන් සිටියත් ලිපි ලියන එකා උන්නද මළාද කියල අහන්න නම් මට නම් සිටියේ අතලොස්සයි. තිත්ත වුනත් ඇත්ත තත්ත්වය ඒකයි.
ReplyDeleteහැබැයි මේ දේත් කියන්න ඕන මම බ්ලොග් ලිවීම සම්පූර්ණයෙන්ම නතර කරලා නැහැ. නිල නොවන විවේකයක් පමණයි ගත කරන්නේ. යම් අවස්ථාවක සිතුනු සැනෙන් බ්ලොග් ලිවීම අරඹන බවත් පැවසීමයට කැමැත්තෙමි.
ReplyDeleteඅවුරුදු 8ක් තිස්සේ සිංහලෙන් බ්ලොග් ලියන ගමන් පුද්ගලිකව මම ඔය හැමදේම දිහා බලාගෙන හිටියා. අදටත් ලියනවා,කියවනවා. හිතට අල්ලන දෙයක් දැක්කොත්, අගයකල යුතු හෝ විවිචේනය කල යුතු දෙයක් දැක්කොත් කමෙන්ට කරනවා.සිංහල බ්ලොග් වලින් පාඨකයා ඈත්වීමට ඔබ මෙතන සඳහන් කරපු හේතුවලට අමතරව බොහෝ හේතු තියනවා. සංවර්ධනය හෝ බිඳවැටීම,කමෙන්ට්,හිතවත්කම්,සම්මාන කියන වචන අමතක කරලා මමනම් අදටත් ලියනවා. මොකද අවුරුදු 8කට කලින් බ්ලොග් එකක් ලියන්න පටන්ගත්තේ මම ලියන වචන මමම කියවද්දි දැනෙන ආත්ම තෘප්තියට වගේම තව එකෙක් දෙන්නෙක් හරි කියවලා කියලා දැක්කම දැනුන තෘප්තිය එක්ක. අදටත් ඒකේ වෙනසක් නැති නිසා ඒ තෘප්තියෙන්ම ලියනවා. වෙන වෙන ලොකු ලොකු දේවල් ගැන, බාහිර දේ ගැන හිතන්න ගියාමයි ප්‍රශ්න වැඩි. උත්සව,ගෙට්,සංගම්,සාද ගණනාවක් අපි භුක්ති වින්ඳා.එදා ඒ සේරම කරට ගත්තා වගේම අද ඒ සේරම පැත්තකින් තියලා ජීවත් වෙන්නත් පුරුදු වෙලා.
ReplyDeleteඔබ කියපු කාරණා වලට අමතර තවත් දේවල් තිබෙන්න පුළුවන්. මොකද ලියන පිරිසම කියවගෙන පිට කැසිල්ල කළාම ඒ අයම දන්නවා අපි මේ කර ගන්නේ බොරුවක් කියලා. බලාගෙන ඉන්න කවුරුත් නැති තැනක පිට කැසිල්ලත් වැඩක් නෑ. මම හිතන්නේ 2012 අවුරුද්දත් හොඳින් ගියා. සිංහල බ්ලොගර්ස් සින්ඩිය නැති වීම ලොකු පාඩුවක්. මොකද ඒක හරහා ලෝකොයේ අපි නොදන්න කෙළවරවල් වල ඉඳන් කියවන පිරිසක් හිටියා. ඒ අය කමෙන්ට් නොකළත් කියවන බව අපි දැනගෙන හිටියා. අදටත් මගේ බ්ලොග් එකට ආපු වැඩිම පිරිස සිංහල බ්ලොගර්ස් සින්ඩියෙන් ඇවිත් තියෙන්නේ. ඒක වහලා ලොකු කාළයක් ගත වෙලත් එහෙම වෙනවා කියන්නේ. එය අහිමි වීමෙන් නිත්‍ය කියවන්නන් පිරිසක් අපිට අහිමි වුණා. ඒ අය අපිව නම් වශයෙන් මතක තියා නොගෙන සිටි පිරිසක් වෙන්නත් පුළුවන්. ඒ අය අප පසුපස වෙනත් මාර්ග වලින් ආවේ නෑ මගේ විශ්වාසෙ හැටියට. ඔබ කිව්වා වගේ කා-කොටා ගැනීම් වගේ දේවල් නිසාත් එවැනි ස්වභාවික කියවන්නම් නැති වුණා. අවසාන කොටසේදී පහන නිවෙන්න කිට්ටුව වගේ ලොකුවට දැල්වුණා. අද ලියන්න බොහෝ දේ තිබුණත්, වෙලාවක් හදාගෙනවත් ලියන්න හිතෙන්නේ නෑ. ඒකට හේතුව හොඳ ඕඩියන්ස් එකක් නැතිකම. දවසකට හාර-පන්සීය, හයසීය කියවපු දවස් තිබුණා. දැන් 350ක් කියවන්නෙත් කළාතුරකින්. හිට්ස් ප්‍රමාණය නවකයෙකුට බලපානවා. අපිට නවකයන් විදියට ඒ දේ ලැබුණා. දැන් බොහෝ දෙනා ටික කාළයකින් මේවා හැර යනවා.
ReplyDeleteපුද්ගලිකව සාධාරණ මාර්ගයෙන් මට බ්ලොග් ලිවීම නිසා බොහෝ දේ ලැබුණා. මගේ සේවා ස්ථානයෙන් පවා. මම නම් ඉන්නේ තෘප්තිමත් තැනක. හැබැයි මෙහි සිටියවුන් අහිමි වීම, හරියට වර්ල්ඩ් මාර්කට් එකට අද අත් වෙලා තියෙන තත්වේ වගේ.