අද නයිට් ඩියුටි. සෙනසුරාදා හින්දා ඉතින් වැඩ නෑ. අරාබියට සෙනසුරාදා කියන්නේ ලංකාවට සඳුදා වාගේ. සතියේ පළවෙනි වැඩකරන දවස. සමහරුන්ටනම් ඒක ඉරිදාත් වෙනවා. අපි වගේ අත්‍යවශ්‍ය සේවා ( හෙහ්.. හෙහ්.. සභාතොමෝ පස්ස ගාත්වලින් සිනාසෙයි. ) වල යෙදෙන කාර්යබහුල ( නැවතත් සිනා.. ) වගකිවයුතු පුද්ගලයින්ටනම් ඉතින් අද තමා මුල් දවස.. විතින් සුපුරුදු විදිහට සතිය පටන් ගද්දි වැඩ අඩුයි. ඇත්තම කියනවනම් වැඩ නෑ.. මොනවා ලියනවද කියලා මෙලෝ අදහසක් නැතිව සිංදුවක්වත් අහලා ඉමු කියලා ජිරිබිරිස් එකත් කනේ ගහගෙන ඉඳ ගත්තම ඇහෙන්න ගත්තේ...
"කඳුළු ලියකම්.. ඇන්දා සිතුවම්.. ඔබගේ රූ මනරම්... "
ඇස් දෙක පියාගෙන සිංදුව අහලා ඉවරවෙද්දි හිතේ අස්සක හිරවෙලා තිබ්බ දුකක් හරි මොකක් හරි එකක් ඇස් අග්ගිස්සට තෙතට ඇවිත් තිබ්බා... ඇයි ඒ.. රීප්ලේ බටන් එක ඔබලා ආපහු ඇස් පියාගන්න ගමන් ඇහුවා. ඇහුවා නෙවෙයි ඇහුනා. හදිස්සියේම රෝයි පීරිස් ගියපු දුකටද? වෙන්න බෑ. ජීවත්වෙලා ඉන්දැද්දි උන්නද මලාද නොහිතපු මිනිස්සු යද්දි දුක හිතෙන එක විහිළුවක්නේ. නන්නාදුනන ලෝකේ කෙලවරක හරි හුස්මක් හරි නවතිද්දි දුකයි තමා. මූණු පොතේ තැනක හිරාන්ද සේරම් කියන මනුස්සයා දවසක් ලියලා තිබ්බා. ..
මන්දාකිණියේ ඈත කෙලවරක
නන්නාදුනන
ආදරණීය තරුවක් වුව
නිවී යද්දි පාළුයි... වගේ කතාවක්.
ඒත් මේක ඊට එහා ගිය ආත්මනුකම්පාවක් වගේ හැඟීමක්. රෝයිලා තමන් ආව පාර්ට් එක කලා. සතුටු වුනා. සතුට බෙදුවා. එයාගේ ඩියුටිය ඉවර වුනාම යන්න හොඳම දවසේ යන්න ගියා.
අපරාදේ පිළිවෙලක් නැතිව බීවා. නැත්තන් තව කාළයක් ඉන්න තිබ්බා වගේ කතා ඉතින් අපි හදාගන්න බයිලා.
එයාගේ කාලේ උන්නු හැමෝම වගේ එහෙමයි. ලෝබකමක් නැතිව ආදරේ බෙදුවා.
නාමල්, ප්‍රින්ස්, ආත්මා, චන්ද්‍රසේන, ග්‍රේෂන්, මධු මාධව, ශාලිත,චන්දන,ජගත් ...... ලිස්ට් එක දිගට දිගට යන්න පුළුවන්..
ලිස්ට් එක නෙවෙයි වැදගත්.. ඒත් එයාලා යද්දි අපිට වැඩිපුර දැනෙන්නේ ඇයි..????
මං හිතන්නේ එයාලා ගැයුවේ අපි විඳින්න කැමති විදිහේ ආදරය ගැන. අද දවසෙ දෙයියන්ට බුදුන්ට වැඳලා ඉල්ලන, වත්ත වටේ ගිහින් ආවත් ඔයා මගෙමයි, ආදරේ දෙන්න බැරිනම් පපුවට අඟල් හයක් බස්සන්න කියන ආදර ගීතවලට වඩා එයාලා අපේ ඇඟේ ඉන්න ආදරණීය සතාට ගීත ගැයුවා. කාලෙත් එක්ක අපිටත් ඒවා අමතක වෙලා ( ඇත්තම කියනවනම් අමතක කරවලා ) තිබුනු මතක එයාලා ලෙඩ වෙද්දි, යන්නම යද්දි ආය උඩට එද්දි හිතේ දුර්වලම තැන්වල ඇනිලා රිදෙන්න ගන්නවා. ඉතින් අපිට අපි ගැනම දුක හිතෙනවා. රොයිගේ මරණේ දවස්වලම ගෲෆ් චැට් එකකට යාළුවෙක් අහන්න පුළුවන් නරකම ආරංචිවලිනුත් නරකම එකක් ගෙනාවා. පස්සේ ඒක කවුරු හරි කරපු නරක විහිළුවක් කියලා ආරංචි වුනත් එතැන හිටපු අපි දෙතුන් දෙනාම හෙල්ලිලා ගියා. ඒක මහා නරක හැඟීමක්. ආයෙත් හිතෙන්න ගත්තේ ඒ එයාලා යන දුකටද නැත්තන් අපි ගැනම දැනුන දුකටමද කළබල වුනේ කියලා.
මෙව්වා ඉතින් නොස්ටැලජියාව හෙල්ලුනාම එන සෙන්ටිමෙන්ටල් ගොන් පාට් විතරයි. ඒම නැතුව එදා පට්ට-අද ගෝතයි කියන්න නෙවෙයි. හෙන මොඩර්න් විදිහට හිතන්න ගත්තත් ඉතින් අපි තාමත් ඒ කාලෙට ආදරෙයි. නැට්ටට කිරි උනන කාලේ දැනුන මතකය ආයේ ආයෙත් රිද්දෝගෙන විඳින්න කැමතියි. ඒ කාලේ ළඟින් විඳපු අය එක එකා යන්න යද්දි ඒ රිදුම අළුත් වෙනවා. එච්චරයි. මහ දෙයක් නෑ..
No comments:
Post a Comment