Wednesday, July 12, 2017

මැතිව්ස් : තනිකරන ලද නායකත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් : කෙළවාගැනීමේ හොඳම එක

ඇන්ජලෝ මැතිව්ස්, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාටත්, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාටත් වඩා විරුද්ධවාදීන් පිරිසක් බිහිකරගත් නායකයා ලෙස ඉතිහාස ගත වනු ඇත. ඔහුගේ නිල අනුප්‍රාප්තිකයා වීමට නියමිත උපුල් තරංගටත් වඩා ඔහු අසාර්ථක, අලස, ආත්මාර්ථකාමි, උපාය හීන, දුර්වලයකු ලෙස දැනටමත් හංවඩු ගසා හමාරය. ( උපුල් තරංග නායකත්වය දැරූ එක්දින තරම දොළහෙන් අටකම ප්‍රතිඵල පරාජයන්ය ) නමුත්, දැන් ඇන්ජලෝ මැතිව්ස් කථාවේ අවසන් පරිච්ඡේදයද නිමාවී අවසන්ය.

ඇත්තටම මැතිව්ස් නම් වූ යකා සමාජ ජාල විචාරකයින් සහ මාධ්‍යවේදීන් මවන තරම් කළුද? ( ඡවි වර්ණයෙන්නම් කළුම් එකා මැතිව්ස් බව ඇත්තය )

මැතිව්ස්, බහුතරයකගෙ අප්‍රසාදයට ලක්වන්නේ පිටියේ පසුබෑමකට ලක්වීමට පෙරාතුවය. හාස්‍යයජනකම කාරණය ඒ මොහොත ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවේ නව පරිච්ඡේදයක් ලියැවීමට නියමිතව තිබූ ජයග්‍රාහි මොහොතකි. පකිස්ථානයට එරෙහීව විශිෂ්ඨ ටෙස්ට් ජයක් අභියස සිටි ජාතික කණ්ඩායමට කාළගුණය කෙනෙහිලිකම් කරන්නට නියමිතව තිබුනු මොහොතකි. නමුත්, කිත් රුවන් විතානගේ ( අවාසනාව යනු ඔහුටද තරගයෙන් පසු විනය විරෝධී ක්‍රියාවකට දඩුවම් නියම වීමය ) සමග එක්වූ මැතිව්ස් සටන්කාමි ඉනිමක් දියත් කරමින් පකිස්ථානයද කාළගුණයද පරාජය කරන්නේය. විශිෂ්ඨ ජයග්‍රහණයකින් උදම්වන මැතිව්ස් මාධ්‍යය සාකච්ඡාවෙදි තමන් අදහන දෙවියන්ට ස්තූති කරමින් බහුතර ලාංකිකයන්ගේ හිත් බිඳ ගන්නේය. ක්‍රීඩාවට ආගම ඈඳා ගැනීම නොවිය යුත්තක් බව ඇත්තය. නමුත්, එය බහුතර සිංහල බෞද්ධ ප්‍රජාවගේ උදහසට ලක්වන්නේය. තිලකරත්න ඩිල්ෂාන් බුදු දහම වැළඳ ගැනීම උත්කර්ශවයට නංවන, එදවස සනත් ජයසූරිය අත බැඳි පිරිත් නූල්වල ඝනකම ගැන උද්දාමයට පත්වු ප්‍රේක්ෂකයින්ට මැතිව්ස්ගේ ආගමික එළඹුම විෂ වන්නේය.අදටත් තරඟ දින්ද්දි මුනිවත රකින  ක්‍රිකට් ලෝලීන් නොවන සාමාන්‍ය ජනතාව පවා මැතිව්ස්ගේ නායකත්වයෙන් තරඟයක් පැරදුන විට කරන්නේ " අද දෙයියෝ සපෝට් කලේ නෑ.. දෙයියෝ" වැනි උපහාසාත්මක ප්‍රකාශයන්ය. ඒ මැතිව්ස් වරද්දාගත් තැනයි.

සනත් ජයසූරිය එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරඟයක සිව්වෙනි ඉනිමේදි ලබාදුන් දියාරු සටනට පසු ශ්‍රී ලාංකීය නායකයෙක් ලබාදුන් දියාරු සටනක් පකිස්ථානයට එරෙහිව දියත් කරන්නේය. ප්‍රථිඵලය ලැජ්ජාසහගත පරාජයකි. පරාජයේ වේදනාවන් සමනය වන්නේ ඇන්ජලෝගේ නායකත්වය පට්ට ගැසීමෙනි. ඒ අතරතුර ඔහු එංගලන්තයට එරෙහිව එංගලන්තයෙදි පූර්ණ ටෙස්ට් තරඟාවලි ජයග්‍රහණයකට මෙහෙයවන්නේ පිට පිට තරඟ දෙකකදි ශතක ලබා ගනිමින්ය. එක්දින තරඟාවලියද 3-2 ලෙස ජයගන්නට කණ්ඩායම මෙහෙයවන්නේය. ඉන්පසු පකිස්ථානයට එරෙහිව තරඟ 2-0 ලෙස ටෙස්ට් තරඟාවලියක් මව්බිමේදි ලබන මැතිව්ස්ගේ නායකත්වය දෙපිලක් අතර එක්දින තරඟාවලියකදි ජාතික කණ්ඩායම ලබන දරුණුම පරාජයට ඉන්දියාවෙදි ලක්වන්නෙය. කෙසේ නමුත් 2014 වසරෙදි ලොව සාර්ථකම එක්දින නායකත්වයට හිමිකම් කියන මැතිවිස් එම වසරේ ආසියානු කුසලාන ජයග්‍රහණය දක්වා කණ්ඩායම මෙහෙයවන්නේය. පසුව, ඉතිහාසයේ ප්‍රථම වතාවට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල අංක එක කණ්ඩායම පූර්ණ තරඟාවලිය ජයග්‍රහණයකට මෙහෙයවන මැතිව්ස්ගේ නායකත්වය ප්‍රභල ඔස්ට්‍රේලියානුවන් තරඟ 3-0 ලෙසට දණ ගස්වන්නේය. ඔහු එතැනදිද ජයග්‍රහණයෙන් අනතුරුව කට වරද්දාගන්නේය. එයින් ප්‍රේක්ෂකයින් සහ සිංහල බෞද්ධයින් කුපිත නොවන නමුත් ක්‍රිකට් බලාධිකාරියේ නොරිස්සුමට ලක් වන්නේය. තරඟාවලි ජයග්‍රහණය පිටුපස සිටි නොපෙනෙන හස්තය කණ්ඩායමේ නව උපදෙශක අරවින්ද ද සිල්වා මහතා බවත් ඔහු බිඳ වැටෙන ශ්‍රී ලංකා ක්‍රිකට් නැවත ගොඩ නගනු ඇති බවටත් අනාවැකි පල කරන්නේය. එය මැතිව්ස් හට සිදුවන බරපතලම අත්වැරැද්දකි. ඉනික්බිතිව එළැඹෙන්නේ මැතිව්ස්ගේ නායකත්වයේ හංස ගීතයේ ඇරඹුමයි. ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරඟාවලියේ පරාජයෙන් අනතුරුව බංගලිදේශය හමුවේද ජාතික කණ්ඩායම ප්‍රකට කරන්නේ දුර්වල ක්‍රීඩා විලාශයකි. ටෙස්ට්, එක්දින, විස්සයි විස්ස තරඟාවලි ත්‍රිත්වයම සම ප්‍රතිඵල දෙමින් අවසන් වන අතර ඉන්පසු චැම්පියන්ස් කුසලානයෙද මුල්වටයෙන්ම ඉවත් යන්නේ අවාසනාවන්ත ආකාරයෙනි.

එම තරඟාවලියේ ද.අප්‍රිකාව සමග පැවති මුල් තරඟයට සහභාගී වීමේ සූදානමින් සිටි මැතිව්ස්ට ඉහළ බළධාරින්ගෙන් උපදෙස් ලැබෙන්නේ සහභාගි නොවන ලෙසටය. එදින නායකත්වය දරන උපුල් තරංග තරඟ දෙකක තහනමක් ලැබීමත් සමඟ මැතිව්ස් සහභාගි වන මුල්ම තරඟය ඉන්දියානුවන් පරදවා ජයගන්නට මැතිව්ස් කණ්ඩායම මෙහෙයවන්නේය.

ඉන්පසු මැතිව්ස් සමුගන්නේ ජාතික කණ්ඩායම ලබාගත් ලැජ්ජාශීලිම පරාජයට නායකත්වය සැපයූ නායකයා ලෙස දුර්වල සිම්බාබ්වේ කණ්ඩායම හමුවේ 3-2 ලෙස පරාජයකට කන්ඩායම මෙහෙයවමින්ය.

මැතිව්ස්ගේ නායකත්වයට එල්ල වූ චෝදනා බොහෝය. පදනමක් ඇති චෝදනා ස්වල්පයක් හැරුනු විට ඇතැම් ඒවා ඉතා හාස්‍යයජනක ඒවා වන අතර ඇතැම් ඒවා සිනා වීමත් වරදකාරි ලෙස දැනෙන භයානක විහිළුය. මැතිව්ස් සමය අවසන් වීම නිසා අප තවදුරටත් තුවාල පහුරු ගෑමට උත්සාහ නොකර පසුගිය පස් වසර තුල ශ්‍රීලංකා ක්‍රිකට් අපගමනය පිළිබඳව සංක්ෂිප්ත විමසුමකට ලක් කිරීමට සිතමු.

2012 වසරෙදි ශ්‍රී ලංකා ක්‍රිකට් සමාගම ක්‍රිකට් ලෝකයේ මොළකරුවකු වන හරූන් ලොගාට් මහතාගෙන් ක්‍රිකට් අනාගතය සඳහා යෝජනාවලියක පිහිට පතන්නේය. ඒ වනවිටත් 2011 ලෝක කුසලාන තරඟාවලිය අතරතුර සිදුකල දූෂන හා අක්‍රමිකතා හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සමාගම බංකොලොත් වී හමාරය. ලොගාට් මහතාගේ රහස්‍ය වාර්තාව ( එහි තවදුරටත් රහස්‍ය බවක් නැති අතර ගූගල් කර සොයාගත හැකිය ) ඇරඹෙන්නේ නව උදාවක් - අනාගතයට මුහුණදීමටනම් වෙනසක් විය යුතුය යන අදහස දෙන පාඨයකිනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ වනවිට ලෝකය හමුවේ මවාදී තිබූ චිත්‍රය ඉතා දුර්වල බවත් ක්‍රිකට් අනාගතය සාර්ථක කරගැනීම පිණිසම ඔහු විසින් හඳුනාගත් දුර්වලතා නවයක්ද ඒවා මඟ හරවාගැනීමේ යෝජනා විසිහතරක්ද ඔහුගේ වාර්තාවෙන් ඉදිරිපත් කරන්නේය. එම වාර්තාව එසැනින් හමස් පෙට්ටියට බහාලු බව ඉනික්බිති එළැඹෙන පස්වසර තුල ශ්‍රී ලංකා ක්‍රිකට් සමාගමේ හැසිරීමෙන් ඉතා පැහැදිලිය.

ලොගාට් වාර්තාව පසෙකින් තබමු. ගතවුනු කාලයේ ජාතික කණ්ඩායමේ පුහුණුකරුවන් මාරු වන්නේ බොලිවුඩ් ගීතයක නිළියන් ඇඳුම් මාරු කරගන්නා වේගයෙනි.ට්‍රෙවෝර් බේලිස්ගේ 2011 ජාතික පුහුණුකරු ධූරයෙන් සමුගැනීමත් සමග වත්මන් පුහුණුකරු දක්වා පුහුණුකරුවන් 8 දෙනෙකු අත්හදා බලා ඇත.( 2007 සිට 2011 දක්වා වසර හතරටම බෙලිස් පමණය.) ඒ අතරින් චැම්පියන්ස් කුසලානයෙන් පසු අතරමග රැකියාව හැරදමා ගිය ග්‍රැහැම් ෆෝඩ් තනතුර භාර ගනු ලබන්නේ දෙවැනි වරටය. ඒ අතරතුර වත්මන් ක්‍රිකට් පුහුණුකරුවන් අතර ඉදිරියෙන්ම කියැවෙන නමක් වන "චන්දික හතුරුසිංහ" තම සේවය ජාතික කණ්ඩායමට ලබාදීමට කැමැත්ත පල කරද්දි එවකට ප්‍රධානියාව සිටී නිශාන්ත රණතුංග ඔහුව ප්‍රතික්ෂේප කරන්නේ ඔහු කිසිම කණ්ඩායමක පුහුණුකරණයට නුසුදුසු බවට කරුණු ඉදිරිපත් කරමිනි. අමතක නොකරන්න මේ ෆෝල් ෆෙයාබ්‍රේස් එංගලන්ත තරඟාවලියට පෙර ශ්‍රීලංකා කණ්ඩායමට සේවය කිරීමට බැදුනු කොන්ත්‍රාතුව බිඳ දමා එංගලන්තය සමගම වැඩි වැටුපකට සේවයට එක්වෙද්දි ඔහු රඳවා ගැනීමට මුදල් නොමැතිව අසරණ වූ ක්‍රිකට් සමාගමමය. ගමේ ගොඩේ කතාවලදි මෙන් ශ්‍රීලංකා ක්‍රිකට් සමාගම කටයුතු කලේ පුක කහන්න නියපොත්ත නැති වුනත් ලක්ෂෙට ටෝක්ස් දමන ගොන් පණ්ඩිතයකුගේ පිළිවෙලටය. ඒ අතරතුර කිහිප වතාවකදි ක්‍රීඩකයින්ගේ ගෙවීම් පැහැර හරින්නේය. කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන යන ජේෂ්ඨයන් දෙදෙනා වෙතම අනවශ්‍ය පීඩනයන් එල්ල කරන්නේය. ඔවුන් එයට පිළිතුරු දෙන්නේ විස්සයි විස්ස ලෝක කුසලානය ලංකාවට දිනා දී ගෞරවාන්විතව සමුගැනීමෙනි. නිත්ය පුහුණුකරුවකු රඳවා ගැනීමට ක්‍රිකට් සමාගම අසමත් වෙද්දි පත්වන නව ක්‍රීඩා ඇමතිවරයා ගැලරියට ආතල් දෙන ජෝකරයකුගේ භූමිකාව රඟ දක්වන්නේය. ශ්‍රිලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අඩුවකට තිබුනේ එවැනි ජෝකරයකු පමණය. හරි හමන් පුහුණුකරුවකු නොමැතිව තරඟකාරිත්වය ඉහළ මේ සමයේ තරඟ දිනීමට සිතීම හිනානොයන විහිළුවක් බව ලෙදර් පන්දුවක් අතින් අල්ලා විලෝ ලෑල්ලකින් පන්දුවකට ගැසූවෙකුට අමුතුවෙන් තේරුම් කර දිය යුතු නැතිය.

කණ්ඩායම තේරීම. ශ්‍රීලංකා ක්‍රිකට් ක්‍රීඩාව දශක ගණනකින් ආපස්සට යාමට ප්‍රධානම හේතුව තරඟයකින් දෙකකින් පසු කොට්ට උර මාරු කරන්නා සේ ක්‍රීඩකයින් මාරු කිරීමේ ප්‍රතිපත්තියයි. හාස්‍යජනකම කාරණයනම් එහි වගකීම දැරිය යුතු තේරීම් කමිටුව බේරා ඇන්ජලෝ මැතිව්ස්ටද ඔහුගේ කළමණාකරුද ක්‍රීඩාවෙන් සමුගත් ජේෂ්ඨ ක්‍රීඩකයින් වෙතටද වරද පැටවීමේ උත්සාහයයි. ෆේස්බුක් ඇත්තේ ෆන් ගන්නටයි කිවු යමෙක් ඇත්නම් සමාජ ජාල හරහා බහුතර මතය කෙසේ පාලනය කල හැකිදැයි කනට ගසා පෙන්විය හැකි ආසන්නම සහ ජයග්‍රාහිම මෙහෙයුම එයයි. යම් නවක ක්‍රීඩකයෙකු දක්ෂතා දක්වද්දි එහි පූර්ණ ගෞරවය තමා වෙත ලබාගන්නා තේරීම් කමිටුව බුරුතු පිටින් ක්‍රීඩකයින් අසාර්ථක වෙද්දි තරඟයෙන් දෙකෙන් එළියට දැමීමද ඇතැම් ක්‍රීඩකයින් උපරිම දක්ෂතා පෙන්වද්දි ගිලටිනයට හසුවීමද තේරීම් කමිටුව සාධාරණීකරනය කරන්නේ කෙසේදැයි අපි නොදනිමු. එහි සියළුම පව් ඇන්ජලෝ මැතිව්ස් පිට පටවා නිදහස් වීමට නොහැකි බව ඔවුන් නොදන්නවා විය නොහැක.

කරුණු කාරණා පෙළ ගැසෙන්නේ තව තවත් තත්වය නරක අතට හැරෙන දිශාවකට බව පැහැදිලිය. ඉතා ඉක්මනින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා අතට, තමාගේ ඇමතිවරයා ක්‍රීඩාව සහ ක්‍රීඩකයින් රැක ගැනීම වෙනුවට රටට ජෝක්ස් සපයන බවත් ඉතා ඉක්මනින් පිළියම් නොයෙදුවොත් ශ්‍රිලාංකීය ජාතියක් ලෙස ජාති-ආගම් භේදයකින් තොරව සැමට එකට එක්වී සතුටු විය හැකි විනෝදාංශයට කෙලවීමට නියමිත බවත් වහා පිළියමක් යෙදිය යුතු බවත් දැක්වෙන පුවත්පත් වාර්තාවක් ලබා දිය යුතු යැයි සිතමු.


Related Posts with Thumbnails