Showing posts with label සංවේදි කතා. Show all posts
Showing posts with label සංවේදි කතා. Show all posts

Wednesday, February 1, 2017

චිත්‍රපටි ඔත්තු - Manchester By the Sea

සමාව දීම. කතාවට කියන්නේ වැරදීම මනුස්ස ගතියක් සමාව දීම දේව ගතියක්. එහෙමනේ. හිතාමතා හෝ නොහිතා අගතියක් වුනාම සමාව දෙන එක ලේසි වැඩක් නෙවෙයි. ඒකට ලොකු තෙතමනයක් තියෙන හදවතක් තියෙන්න ඕන. උපේක්ෂාව ප්‍රගුණ කරලා තියෙන්න ඕන.

ඒත් කෙනෙක්ට තමාටම සමාව දෙන්න සිද්ධ වුනොත්. ඒක ලේසි වැඩක් නෙවෙයි. ලෝකේ දරුණුම අපරාධකාරයාට සමාව දෙන්න හිත හදාගත්තත් තමාටම සමාව දීම. ඒක හදවතයි මොළයයි අතර කරන්න වෙන දරුණුම සටනක්. ගොඩක් වෙලාවට වෙන්නේ මොළය පරාද වෙලා හදවත දිනන එක. මිනිස්සු ජීවිතෙන් පැනලා යන්නේ එහෙම වුනාම. හෘද සාක්ෂිය චෝදනා කරන්න කරන්න මිනිස්සු තමාටම දඬුවම් කරන්න ගන්නවා. විශේෂයෙන් තව කෙනෙක් වෙනුවෙන් තෙතමනය තියෙන කෙනෙක්නම් වැඩේ තවත් බරපතළයි. ආය ජීවිතේටම නිවරදි කරගන්න බැරි වැරැද්දක් වුනොත්. ඒ පසුතැවිල්ලත් එක්ක  තව දුරටත් ජීවත් වෙන්න හයිය තියෙයිද?

කතාව දිග හැරෙන්නේ ලී ෂැන්ඩ්ලර් ( කේසි ඇෆ්ලෙක් ) කියන බොස්ටන්වල බෙස්මන්ට් එකක ජීවත්වෙන නඩත්තු සේවකයාගේ අතීත ආවර්ජන එක්ක. සමාජ ආශ්‍රයක් නැති, නොරුස්සනසුළු - මරුමූස් චරිතයක් වුනත් අතීත ආවර්ජන පෙළ ගැහෙන්නේ ඉතාම සුන්දර මතකයන් විදිහට. ඒ අනුව මුල සිටම  නිර්මාණකරුවා බලන අපිට ඉඟියක් දෙනවා ලී දරුණු ඛේදාවචයකට මුහුණ දෙනවය කියලා. ලීගේ සහෝදරයා වෙන ජෝ හෘදයාබාධයකින් මිය යන අතර ඔහුගේ එකම පුත්‍රයා වන ප්‍රැක්ට්‍රික්ගේ භාරකාරත්වය ජෝගේ අන්තිම කැමති පත්‍රය අනුව ලීට හිමි වෙනවා. එතැන් සිට ලී තමන්ගේ ගමෙන් ඈත්වෙලා හුදෙකලා ජීවිතයක් ගත කරන්න හේතුවත්, තමාගෙවත් භාරකාරත්වය දරාගන්න බැරි ලී තරුණ කොළුවෙක්ගෙ භාරකාරත්වය දරන්නේ කොහොමද කියන කතාවත් ඉදිරියට දිග හැරෙනවා.

සැරින් සැරේට ඇස් තෙත්කරවන, උගුර මැද්දේ ඊයම් බරුවක් හිරකරවන, මෑත කාලේ හොලිවුඩ් නළුවෙකුගෙන් දැකපු පට්ටම රඟපෑමක් එක්ක එන "මැංචෙස්ටර් බයිද සී" චිත්‍රපටි ලෝලියෙක් අනිවාර්යෙන් නැරඹිය යුතු එකක්. චිත්‍රපටිය පුරාම කේසි ඇෆ්ලෙක්ගේ රඟපෑම මෑත කාලයෙ චිත්‍රපටියකදිනම් දෙවැනි වෙන්නේ "ද රෙවෙනන්ට්" චිත්‍රපටියේ ලියෝ ඩි කැප්‍රියෝගේ චරිතයට විතරයි. චිත්‍රපටිය බලනවනම් ටිෂූ පෙට්ටියක් ලඟ තියාගන්න එක වඩාත් සුදුසුයි කියන්න ඕන.
Related Posts with Thumbnails