Sunday, January 29, 2017

රණවිරු කතාවක්

උක්කුං මල්ලි ගැන ලියන්න ඕන කියලා හිතිලා ගොඩක් කල්. එහෙම ලිව්වනම් හොඳයි කියලා හිතුනු තනි තනි මිනිස්සු ගොඩාක්  ගැන ඔළුවේ තිබ්බට ලියැවෙන්නේ නෑ ඉතිම්. කාටද ඔව්වට වෙලාවක් !!!

උක්කුං මල්ලි මට මුණ ගැහෙද්දි රණ විරුවෙක්. සුප්පා රණ විරුවෙක්. මාස තුනක් උඩහා ඇදලා නිවාඩු එද්දි කොල්ලෝ ෆුල් රෙස්පා පිට තමයි කොල්ලව පිළිගත්තේ. ආහ් කියන්න බැරිවුනා. ඒ දවස්වල යුද්ධෙ දරුණුම කාලයක්. අපි ඒ ලෙවල් කරන දවස්වල. අලිමංකඩට ගහලා කොටි ආපහු අල්ලගත්තේ ඒ කාලේ මයෙ හිතේ. කෝම හරි ඒ කාලේ උක්කුං මල්ලිලා ( තව රණවිරු ෆෙන්ස්ලා හිටියා සෑහෙන්න ) එකෙක් දෙන්නෙක් හරි නිවාඩු ඇවිත් ගමේ ඉන්නවමයි. ඒ හැමෝටම වඩා උක්කුං මල්ලි අපිත් එක්ක පට්ට විදිහට ෆිට් වුනා. අපි කිව්වේ මායි මඟේ අතිජාත මිත්‍රයෝ තුන්දෙනයි එක්ක. ඔය කාලේ මත්පැන් පානය අපි අත්හිටවලා තිබ්බේ. වෙන මොකුත් නෙවෙයි නැති කමට. ගෝල්ලිෆ්ෆෙක්කට රුපියල් පහක් හොයාගන්න බැරි අපි බොන්නේ *ටේ උගස් කරලද? ඉතින් සාමාන්‍යය විනාශකාරයෝ වගේම අපෙත් එකම තේරීම වුනේ තහනම් වෙච්ච කැළෑ කොළ. ඒ දවස්වල ඔය ඉංග්‍රීසි අකුරු දෙකේ බඩු ලොවෙත් අහලවත් නෑ. සුපිරිසිදු ලෝකල් ස්පෙෂල් තමා ඉතිම්.

උක්කුං මල්ලි අල්ලපු ගමේ. හැබැයි පොරට එහේ ඩෑල්ස් සෙට් වුනේ නෑ. නිවාඩු ආව ගමන් හොයාගෙන එන්නේ අපි හතර දෙනා. ඉබ්බා දියට දාන්නද ඇහුවම දැන්නෑවේ කිව්වා වාගේ උක්කුං මල්ලි අඬ ගැහුව ගමන් කොල්ලෝ යනවා නෙවෙයි දුවනවා. ආහ් තා පොඩ්ඩෙන් අමතක වෙනවා. නමට මල්ලි කිව්වට මිනිහා අපිට වඩා අවුරුදු දහයකටත් වඩා වයසයි. මිනිහම කටුගස්තොටින් හරි බෝගම්බරින් බඩුත් ගෙනල්ලා,සිගරට් මදිවට ෆෝටෙලෝ, ස්වීට් අරවා මේවා ලෑස්ති කරගෙන කතා කරද්දි කව්ද නොයන්නේ. නේහ්.

අනිත් එක මිනිහගේ යුද්ධ කතා. ගුවන් ගත වෙලා ඒවා අහගෙන ඉන්න එකත් වෙනමම ආතල් එකක්. මතක විදිහට මිනිහා ඒ දවස්වල කෝප්‍රල් හෝ ලාන්ස් කෝප්‍රල්. මිනිහා කියන විදිහට කැප්ටන් ඇරුණම අණ දෙන්න පුළුවන් පොරවල්ලගෙ රෑන්ක් එකටළු. ඕවයේ ඇත්ත නැත්ත හොයා බලන්න කාටද ඉතින් උවමනාවක්. ආටි වැදිලා තල් ගස් කරටි පිටිං කුඩු වෙලා යන හැටි, ඕප් බැහලා කොල්ලොන්ට වැදුනම බේරගෙන හෙන හැටි, කන් ළඟින් බුලට් විදගෙන යන හැටි විස්තර කරද්දි අපි රම්බෝ සජීවීව නරඹනවා.  ඒ අතරේ හඬ පහත් කරලා කියන ගම්වලට පැනලා කරන කියන කතන්දරත් නොතිබුනා නෙවෙයි. ඒවා කියද්දි මිනිහගෙ හැසිරීම නම් හිනායන සුළුයි ඉතින්. වටපිට බල බල මිනිහා හඬ උස්පහත් කර කර කියද්දි තනිකරම ඩෙක් පීස් එකක බලපු හාඩ්කෝර් සීන්ස් මැවිලා යනවා. සමහර ඒවා මිනිහා අතින් දාලත් කියන්නත් ඇති. අපිට මොකෑ. ආතල් එකනේ වටින්නේ.

ඔහොම ඔහොම කාලේ යද්දි උක්කුං මල්ලිලත් එක්ක අපේ සම්බන්ධකම් ටික ටික අඩු වුනා. ඒලෙවෙල් ඇණගත්තම අපිත් යුද්ධෙට යන්ටය. උක්කුං මල්ලිලා ඉන්නේ ඒකටනේ. රණවිරුවොනෙ. අපි සෙට් එකත් එක එක පැතිවලට විසි වුනා. සමහරු රට ආවා. අරක මේක.

උක්කුං මල්ලි ගැනත් ලොකුවට ආරංචි නොලැබුනත් මිනිහා මානුෂික මෙහෙයුමෙත් හිටියා කියලා ආරංචි වුනා.  ඉතින් අපිත් එක්ක එකට කාපු බීපු එකෙක් රට වෙනුවෙන් කැප වෙද්දි අපිට ආඩම්බර හිතුනා. පස්සෙන් පහු මාවිල් ආරුවෙන් යුද්ධෙට තිත තියද්දි අපිත් ලංකාවෙන් පිට ඉඳන් උක්කුං මල්ලිලාට චියර්ස් කරලා පට්ට පාටියක් දැම්මා. අම්මපා බඩු පෝරුවෙත් මට මිනිහා මතක් වුනා. එල කොල්ලා. ඌ ජීවතුන් අතරද නැද්ද කියලවත් නොදැන උට හිතින් උම්මා දුන්නා. ඇත්තටම උන්ට මොකෑ වුනේ කියන එක හොයන්න තරම් උවමනාවක් තිබ්බෙ නෑ.  ලැජ්ජයි තමා. ඇත්ත ඒක.

උක්කුං මල්ලිට මොකෑ වුනේ.

ලංකාවට ගිය වෙලාවක මගේ අතිජාත අපාය සහයකයගෙන් ආරංචි කලා. උගේ මූණ අඳුරු වුනා. අම්මට සිරි.. මං කතාවේ හිස්තැන් පුරවන්න ලෑස්තී වුනා. හිතෙන්ම. ඊට කලින් මගේ එකා ඉස්සර වුනා.

ඌ ඉන්නවා බං.

අම්මට එළනේ. දවසක සෙට් වෙමු ඒනම්.

උඹට පිස්සුද බං. ඌව සමාජෙන් අයින් කරලා ඉන්නේ.

ඒ මොකද අඩේහ්. ඌ පට්ට බුවානේ බං. මතකනේ ඉස්සර දුන්නු ෆන්.

මං පරණ මතක කූඩේ අවුස්සන්න ලෑස්ති වුනා.

ඉස්සර ඩෑල් එක නෙවෙයි බං දැන්. ඌ හෙන **යා වෙලා ඉන්නේ. යුද්ධේ ඉවර වුනාට පස්සේ ඌ පැන්ෂන් ගියා. වීල් එකක් ගත්තා.

විතින් .. ඒක හොඳයිනේ බං..

අහපන්කෝ ඉතින්. පනින් නැතිව. මුලදි මුලදි අපිත් මිනිස්සු කියන කතා විශ්වාස කරේ නෑ. මු කොල්ලොන්ට ගේම් දෙන්න අරන්. සල්ලිවලට පොළු තියන්න. වාහනේ දාගෙන යන කෑලිවලට අරේ මේ.. දන්නවනේ..  දැන් බව්ව දානවා හරියාකාරව.

අඩේහ් සිරාවට. ඉතින් උට කවුරුත් ටෝක් කරලා බැලුවේ නැද්ද බං. මොනවා වුනත් හොඳ එකානේ.

පිස්සුද බං කාටද ඔව්වට වෙලාවක්. ඌ බබා නෙවෙයිනේ. අනික අපි වගේද යුද්ධෙටත් ගිහින් ආපු මොරාල් ඩයල් එකක්. අපි මොනවා කියන්නද??

හ්ම්. ඒකම තමා මචං අවුල.. මං හිතින් කියාගත්තා.

උක්කුං මල්ලි ගැන බලන්න ඕන කියලා හිතාගෙන හිටියට ඒ නිවාඩුවට ඒක කරගන්න බැරිවුනා..

පස්සෙත් ලංකාවට යන හැම වතාවකම හිතාගෙන ගියත්.. කාටද අප්පා ඔව්වට වෙලාවක් තියෙන්නේ... නේහ්...

ඉත්තෝ ( කෙටි කතාවකි ) - පළමු දිග හැරුම

විජිත් ප්‍රසන්න නැවතත් ඒ විකාර හීනය මැදින් පහළට වැටුනේය. මෙවරනම් සැබෑවටම ඇඳපල්ලේම වැටුනේය.

යුරෝපයටම බලපෑ අනපේක්ෂිත කාළගුණ විපර්යාසය ඒ ජනේරුවේ පැරිසියේද ඇටමිඳුළු පසාරු කරමින් තිබුනමුත් විජිත් විසිවසකට පෙර කල්පිටි වෙරළ තීරයෙන් ස්වයං පිටුවහලට ලක්වූ දිනයේ තරමට ඉහින් කනින් දහඩිය වගුරමින් සිටියේය. මිනිත්තු දෙක තුනක් ඇවෑමෙන් සිහි එලවා ගැන්මට පිහිටට ආවේ කවුළුවෙන් විත් තමාටත් හොරෙන් සිමෝනෙගෙ වත සිඹින හීනි ආලෝකයයි..

මුලදි මසකට වරක් දෙවරක් හිත සොලවා දමන එකම හීනය දැන් දැන් දිනපතා විජිත්ගෙ හිත සොලවමින් බියපත් කරන්නේය. කලක් ප්‍රීති ප්‍රමොදයට පත්කල එම ක්‍රීඩාවම විජිත් පසුපස එලවමින් පෙලන නපුරු හීනයක් වීම හෙතෙම අවුලෙන් අවුලට හෙලන්නේය. "ජීවිතේ එහෙම තමා. කාලෙකදි හිත සතුටින් පුරවන දේවල් තවත් කාලෙකදි හිතට දුකක්ම ගේන්න පුළුවන්". ඩිකැන්ටරයෙන් වීදුරුවකට පුරවාගත් ස්කොච් උගුරක් ආමාශගත කරන විජිත්ට කොහෙදි හෝ කියවූ කියමනක් මතකයෙ ඇඳී ගියේය.

 හෙටම බන්ධුවාට ස්කයිප් කරන්න ඕනෑ. විජිත් සිතාගත්තේය.
--------
දේශබන්ධු වික්‍රමතිලකද විජිත් ප්‍රසන්නද දාම් ක්‍රීඩාවේ තකට තකය.

" දාංඔලටට වෝර්ල්ඩ් කප්පෙකක් තිබ්බනම් ඔය මට්ටයොන්ට කලින් අපේ කොල්ලෝ දෙන්නා වොර්ල්ඩ් චැම්පියන්ස්ලා බොලව්."  මොහමඩ් ලාෆීර් බිලියඩ් ලෝක ශූරතාව දිනූ කාලයේ තැපැල් මහත්තයා කජුගහමුල කඩේ ලඟදී දේශබන්ධුත් විජිත් දෙසත් සාඩම්බර බැල්මක් හෙලමින් කිව් මොහොත අදටත් විජිත්ගේ පපු කුහරය පුම්ඹන සුළු හැඟුමක් දනවන්නේය.
සමවයස් ගජමිතුරන් වු දේශබන්ධු සහ විජිත් කිසිදිනක අනෙකාට අභියෝග කරන්නට නොගියෝය. වයසින් කුඩා වුවද කඩපිලේ දවසම ටැග් ගැහෙන මහ මිනිස්සුද උන් දෙදෙනා පොරට නොදැමීමට අප්‍රකාශිත එකඟතාවයකට එළඹී සිටියහ..
_________
උසස් පෙළ උසස් ලෙස සමත් වූ විජිත් පේරාදෙණියෙන් බී.ඒ. ගෞරව උපාධිය ලබා ගමට එද්දි දේශබන්ධු කොතලාවල ඇකඩමියෙන් පිටවන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන ලුතිනන් වරයකු ලෙසය.
________
තරුණ විජිත් ප්‍රසන්න කිව හැකිව තිබූ කතාව...

ඒ පංති අරගලය පිපිරුනු දෙවන කාර්තුවයි. මට ඕනනම් ගුරු පත්වීම් කට්ටක් අරන් පැත්තකට වෙන්න පුළුවන්කම හොඳටම තිබුනා. ඊට පස්සේ සිවිල් සර්විස්..  ඒත්.. ඒත්...මට එහෙම අරගලය පාවලා දෙන්න හිත හදාගන්න බැරිවුනා. හිත හදාගත්තත් පක්ෂෙන් එහෙම ලේසියෙන් ඒකට ඉඩක් ලැබෙන්නෙත් නෑ කියලා මං දැනන් හිටියා. ( කිචේට හිනා වෙන්නේ මොකෑ. මගේ තුන් හිතකවත් විප්ලවෙන් පැනලා යන අදහසක් තිබ්බේ නෑ ඕයි..ඔය තිබ්බ තත්වේ ගැන කිව්වේ. අනික මහනුවර දිස්ත්‍රික්කේ හොඳම වැඩ්ඩෝ පස් දෙනාගෙන් එකෙක් කියලා නායක සහෝදරයා මං ගැන කිව්වලු... ) මිනිපේ පළාතෙම වගකීම පැවරිලා තිබ්බේ මට. දිස්ත්‍රික්කෙම වැඩිපුර ගොවියෝ ඉන්න පළාතම බාරදුන්නේ පක්ෂෙ මං ගැන ලොකු වගකීමකින්. ගොවියෝ තමයි විප්ලවයට ජීවන හුස්ම පිඹින්නේ. නායක සහෝදරයා කිව්වේ එහෙම.

දෙවන ලුතිනන් දේශබන්ධු වික්‍රමතිලක කීවානම් කියන කතාව...

අප්පාහ්.. මටත් ඇකඩමියෙන් අවුට් වෙන්න සැට් වුනේ නියම කාලේ ඈ. එහෙන් උතුරේ ටෙරාලා. මෙහෙන් අපෙ එවුන් පොල්පිති විප්ලවේ. සෙබළෙක්ට රට ජාතියට යුතුකම් ඉෂ්ට කරන්න මීට වඩා චෑන්ස් ලැබෙයිද. නෑනේ. නෑනේ. අනික හරියාකාරව වැඩ පෙන්නුවොත් ඉතින් සට සට ගාලා රෑන්ක් වදින්නේ. මං හිතාගෙන හිටියෙ ඩෙන්සිල් කොබ්බෑකඩුව සර් වගේ වැඩ්ඩෙක් එක්ක වඩමාරච්චි වගේ ඕෆ් එකක් සෙට් වෙයි කියලා. මේකත් අවුලක් නෑ ඉතින් පටන් ගැම්මක් හැටියට. අනික කෙසෙල්පොත කෑම්ප් එකේ ලොක්කත් සුපිරි පොරක් තමයි. මේජර් ඇඳලා තියෙන්නේ වැඩ පෙන්නලාමයි. අනික දන්න කියන පැත්ත හින්දා ජොබ් එක සෙට් වෙනකල් මේකත් හොඳා.. ( ඈහ්.. උතුරට යන්න බයේ බයිලා ගහනවා කියලද හිතේ. මේ වික්‍රමතිලකලා මැරෙන්න බය නෑ ඩෝ. රට ජාතිය වෙනුවෙන් බොක්ක වුනත් ගලවලා දෙනවා. ඒමයි. )
_________
සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් දේශබන්ධු නොකිවු කතාව...

මේජර්ගෙ මූණ දකිද්දිම මට තේරුණා කෙලියක් කෙලවෙන්නම තමා යන්නේ කියලා. ඒත් කව්ද හිතුවේ මෙහෙම මරාලයක් කඩා පාත්වෙයි කියලා. මිනිහා නම් ලිස්ට් එක අතට දීලා මගේ මූණ දිහා නොබලම ඉඳ ගත්තා. මූණ නොබැළුවට මිනිහගෙ ඇස් තිබ්බේ මගේ අත්දෙක දිහාටම ෆෝකස් වෙලා කියලා මට දැනුනේ පස්සේ. බොරු කියන්න ඕන නෑ. මොන දහං ගැටය ගහලා හරි වෙනසක් නොපෙන්නා ඉන්න හැදුවත් දෑතම වෙව්ලලා ගියා. මිනිහෙක්ගෙ වෙනස්කම් හොඳටම බලාගන්න පුළුවන් හොඳම එකක් තමා අත් දෙක. මේජරයම පස්සේ දවසක අඩියකට සෙට් වෙද්දි කිව්වා. විජිතයගෙ නම ලිස්ට් එකේ මුලම. හයිලයිට් කරලම. ඕකා පිස්සෙක් වගේ විප්ලවේ කරන්න ගියා වුනත් මෙච්චර දරුණුවට දැනෙන තරම් පිස්සුවක් කෙලියි කියලා හිතුනෙම නෑ. මට නේද.. සෞරග්‍රහ මණ්ඩලේම ඔළුව වටේ කැරකෙන ගාණයි. මේජරයා අපි දෙන්නා කව්ද කියලා දන්නවද??? ඊළඟ තත්පරේම ඔළුවට ආවේ ඒක. හිත හිත ඉන්න වෙලාවක් තිබ්බේ නෑ. මිනිහම ඒක කිව්වා.

ඊළඟට මට හිතුනෙ මිනිහගෙ ඕඩර් එක අපේ එකාටත් මාලයක් දාලා වෙන එවුන් වගේම රන්දෙනිගල පැත්තේ සෑයක් දාපන් කියයි කියලා.. මොකින් මොකක් වෙයිද කියන උභතෝකෝටිකය ඔළුව අස්සේ පොළා පනින්න ගනිද්දි තමයි මේජරයා මං හීනෙන්වත් නොහිතපු යෝජනාව ගෙනාවේ... උන්නු විදිහට මළා මදෑ.. යන්තන් හුස්මක් වැටුනේ ඒක ඇහුවට පස්සේ..

විප්ලවීය නායක විජිත් ප්‍රසන්න මළාට නොකියන කතාව..

ඒ වෙද්දි දහ අට වංගුවෙන් පල්ලෙහා අපි හොල්ලගෙන හිටියේ. සංවිධානෙට අළුතින් කොල්ලෝ කෙල්ලෝ බන්දා ගන්න එක හිතුවට වඩා ලේසි වුනා. ජනපද හදලා පස්සේ කාලේ අඳේ කරන්න ආපු පවුල්වල දෙවැනි පරම්පරාවේ එවුන්ට එපා වෙලා හිටියේ. අනික ජනපද හදන්න අනාථයෝ වගේ ආවට එන ගමන් පරණ ගම්වල තිබ්බ කුලභේදෙත් කරේ තියාගෙනම ඇවිත් තිබ්බ හින්දා අපේ ජාතියේ එවුන් කොහොමත් පැහැව පැහැව හිටියේ. අළු යට තිබ්බ ගින්න පොඩ්ඩක් පිඹලා මතුකරගන්ට විතරයි තිබ්බේ. පක්ෂේ ඉහලින්ම මගේ නායකත්වය ගැන පැහැදිලා හිටියේ. වෙලාව එනකල් රෙඩි පිට ඉන්න තමයි අපිට තිබ්බේ. එකම අවුලකට තිබ්බේ ශාන්තයටත් මෙහෙටම ඩියුටි වැටුන එක. නොදන්නවා නොදන්නවා වගේ හිටියට ඌ මං සම්බන්ධයි කියන එක මුල ඉඳන් දැනගෙන හිටියා. හැබැයි අපරාදේ කියන්ට බෑ කවදාවත් ඕකා මගෙන් ඒ ගැන නිකමටවත් අහන්න ආවේ නෑ.

ඒත් ලෝකෙම ඔළුව උඩට කඩා පාත් වුනා කියලා දැනුනේ ශාන්තයා එදා රෑ හොරෙන්ම අපේ ගෙදර ආව දවසේ. කියන්න කලින්ම දැන ගත්තා හරියාකාරාව කෙලවෙලා කියලා උගේ මූණ දකිද්දි. උගේ ප්ලෑන අහද්දි අම්මපා දෑත බදලා ඔළුවට මන්නා පාරක් දෙනවා වෙන එකෙක් වුනානම්. එච්චරකට යක්ෂයා ආවේශ වුනා. ඒත්.. ඒත්.. ඌ කිව්ව විදිහට මං ඒ වෙද්දි කර මුලින්ම හිර වෙලා ඉවරයි. වැඩිය දඟලන්න ගියොත් වෙන්නේ මන්ද තවත් හිර වෙන එක. ඌ පණිවිඩේ කියලා ගියාට පස්සේ නිදි පැදුරේම කල්පනා කරලා කරලා එළිය වැටෙද්දි මට තේරුනා.තිබ්බේ තෝරා ගැනීම් දෙකයි. එකක් උට අවනත වෙන එක. නැත්තන් බල්ලෙක් වගේ පාරේ මැරිලා යන එක. (එන  ඕන දේකට සූදානමින් තමයි වැඩේට බැස්සේ. ඒත් මං මැරිලා හම්බවෙන විමුක්තිය මොකක්ද.. හිනා වෙන්ට එපා.. මරබිය දැනුනොත් ඔහෙටත් දවසක ඒක තේරෙයි.. )

---------
එදා රැයේ දේශබන්ධු සහ  ව්ජිත් හමුවෙන් පසු ඉඑතෙක් දිවයිනේ සාර්තකම සංවිධානයක් වූ කන්දෙන් පහළ කණ්ඩායම දිනෙන් දින දුර්වල වූ වගත් සියළු මෙහෙයුම්වල මහ මොළකරුවූ විජිත් හැරෙන්නට විප්ලව කරුවන් එකා පිට එකා අත් අඩංගුවට පත්වන්නට වූ බවත් මතක් කිරීම යුතුකමක් බව සිතමු.

"ප්‍රංශ දාම්" ක්‍රීඩාවෙන් ජය ලබන්නට අසීරුම නැත. අවශ්‍යතාවය ප්‍රතිවාදියාට තමාගේ ඉත්තන් බිලිදීම පමණය.

මතු සම්බන්ධයි.....

අසම්පූර්ණ සටහන් - Incomplete Thoughts

අද නයිට් ඩියුටි. සෙනසුරාදා හින්දා ඉතින් වැඩ නෑ. අරාබියට සෙනසුරාදා කියන්නේ ලංකාවට සඳුදා වාගේ. සතියේ පළවෙනි වැඩකරන දවස. සමහරුන්ටනම් ඒක ඉරිදාත් වෙනවා. අපි වගේ අත්‍යවශ්‍ය සේවා ( හෙහ්.. හෙහ්.. සභාතොමෝ පස්ස ගාත්වලින් සිනාසෙයි.  ) වල යෙදෙන කාර්යබහුල ( නැවතත් සිනා.. ) වගකිවයුතු පුද්ගලයින්ටනම් ඉතින් අද තමා මුල් දවස.. විතින් සුපුරුදු විදිහට සතිය පටන් ගද්දි වැඩ අඩුයි. ඇත්තම කියනවනම් වැඩ නෑ.. මොනවා ලියනවද කියලා මෙලෝ අදහසක් නැතිව සිංදුවක්වත් අහලා ඉමු කියලා ජිරිබිරිස් එකත් කනේ ගහගෙන ඉඳ ගත්තම ඇහෙන්න ගත්තේ...

"කඳුළු ලියකම්.. ඇන්දා සිතුවම්.. ඔබගේ රූ මනරම්... "

ඇස් දෙක පියාගෙන සිංදුව අහලා ඉවරවෙද්දි හිතේ අස්සක හිරවෙලා තිබ්බ දුකක් හරි මොකක් හරි එකක් ඇස් අග්ගිස්සට තෙතට ඇවිත් තිබ්බා... ඇයි ඒ.. රීප්ලේ බටන් එක ඔබලා ආපහු ඇස් පියාගන්න ගමන් ඇහුවා. ඇහුවා නෙවෙයි ඇහුනා. හදිස්සියේම රෝයි පීරිස් ගියපු දුකටද? වෙන්න බෑ. ජීවත්වෙලා ඉන්දැද්දි උන්නද මලාද නොහිතපු මිනිස්සු යද්දි දුක හිතෙන එක විහිළුවක්නේ. නන්නාදුනන ලෝකේ කෙලවරක හරි හුස්මක් හරි නවතිද්දි දුකයි තමා. මූණු පොතේ තැනක හිරාන්ද සේරම් කියන මනුස්සයා දවසක් ලියලා තිබ්බා. ..

මන්දාකිණියේ ඈත කෙලවරක
නන්නාදුනන
ආදරණීය තරුවක් වුව
නිවී යද්දි පාළුයි... වගේ කතාවක්.

ඒත් මේක ඊට එහා ගිය ආත්මනුකම්පාවක් වගේ හැඟීමක්. රෝයිලා තමන් ආව පාර්ට් එක කලා. සතුටු වුනා. සතුට බෙදුවා. එයාගේ ඩියුටිය ඉවර වුනාම යන්න හොඳම දවසේ යන්න ගියා.
අපරාදේ පිළිවෙලක් නැතිව බීවා. නැත්තන් තව කාළයක් ඉන්න තිබ්බා වගේ කතා ඉතින් අපි හදාගන්න බයිලා.
එයාගේ කාලේ උන්නු හැමෝම වගේ එහෙමයි. ලෝබකමක් නැතිව ආදරේ බෙදුවා.
නාමල්, ප්‍රින්ස්, ආත්මා, චන්ද්‍රසේන, ග්‍රේෂන්, මධු මාධව, ශාලිත,චන්දන,ජගත් ...... ලිස්ට් එක දිගට දිගට යන්න පුළුවන්..
ලිස්ට් එක නෙවෙයි වැදගත්.. ඒත් එයාලා යද්දි අපිට වැඩිපුර දැනෙන්නේ ඇයි..????

මං හිතන්නේ එයාලා ගැයුවේ අපි විඳින්න කැමති විදිහේ ආදරය ගැන. අද දවසෙ දෙයියන්ට බුදුන්ට වැඳලා ඉල්ලන, වත්ත වටේ ගිහින් ආවත් ඔයා මගෙමයි, ආදරේ දෙන්න බැරිනම් පපුවට අඟල් හයක් බස්සන්න කියන ආදර ගීතවලට වඩා එයාලා අපේ ඇඟේ ඉන්න ආදරණීය සතාට ගීත ගැයුවා. කාලෙත් එක්ක අපිටත් ඒවා අමතක වෙලා ( ඇත්තම කියනවනම් අමතක කරවලා ) තිබුනු මතක එයාලා ලෙඩ වෙද්දි, යන්නම යද්දි ආය උඩට එද්දි හිතේ දුර්වලම තැන්වල ඇනිලා රිදෙන්න ගන්නවා. ඉතින් අපිට අපි ගැනම දුක හිතෙනවා. රොයිගේ මරණේ දවස්වලම ගෲෆ් චැට් එකකට යාළුවෙක් අහන්න පුළුවන් නරකම ආරංචිවලිනුත් නරකම එකක් ගෙනාවා. පස්සේ ඒක කවුරු හරි කරපු නරක විහිළුවක් කියලා ආරංචි වුනත් එතැන හිටපු අපි දෙතුන් දෙනාම හෙල්ලිලා ගියා. ඒක මහා නරක හැඟීමක්. ආයෙත් හිතෙන්න ගත්තේ ඒ එයාලා යන දුකටද නැත්තන් අපි ගැනම දැනුන දුකටමද කළබල වුනේ කියලා.

මෙව්වා ඉතින් නොස්ටැලජියාව හෙල්ලුනාම එන සෙන්ටිමෙන්ටල් ගොන් පාට් විතරයි. ඒම නැතුව එදා පට්ට-අද ගෝතයි කියන්න නෙවෙයි. හෙන මොඩර්න් විදිහට හිතන්න ගත්තත් ඉතින් අපි තාමත් ඒ කාලෙට ආදරෙයි. නැට්ටට කිරි උනන කාලේ දැනුන මතකය ආයේ ආයෙත් රිද්දෝගෙන විඳින්න කැමතියි. ඒ කාලේ ළඟින් විඳපු අය එක එකා යන්න යද්දි ඒ රිදුම අළුත් වෙනවා. එච්චරයි. මහ දෙයක් නෑ..

Saturday, January 28, 2017

නැවත ලිවීම

අද ජනේරුවේ විසි අටවෙනිදා. නිකමට බ්ලොග් එකේ පළවෙනි පෝස්ට් එක දැම්මේ කවදද කියලා බැලුනා. දෙදාස් දහයේ ජූනි විසි අට. අවුරුදුම හතකට හයහමාරකට කලින්. බල්ලෙක්ගෙනම් ජීවිත කාලයෙන් බාගයක්. දරු මල්ලොත් ලැබිලා. උන්ගේ දරුවොන්ටත් දරුවන්ගෙ දරුවන්ටත් දරුවෝ ලැබිලා, මී බල්ලෙක් වෙන වයසක කාලයක්. සුළුපටු කාළයක්ද. හම්මේ ඉතිම් නේහ්. ඒත් ඉතින් අපි බල්ලෝම නෙවෙයිනේ. ඒ හින්දා මිනිස් අවුරුදුවලින්නම් සූටි කාලයක්.

ලියන්න ගත්තේ ආය ලියපන්, ලියනවකෝ ඕයි, බුකියෙම කොට කොට ඉන්නේ බ්ලොගක් ලියපන් උට්ටෝ වගේ ආදරණීය ඉල්ලීම් එක්ක බේරිලා ඉන්න තියෙන අමාරුවට උනත් නිව් පෝස්ට් බටන් එක එබුවම පරණ යාළුවෙක් හම්බ වුනා වාගේ අමුතු ආදරණීය හැඟීමක් ආවා. අම්මපා ඒක මරු ෆීලිං එකක්. එහෙනම් ඉතින් ආයිමත් මොන මොනවා හරි පල්හෑල්ලක් කොටා දාන්නයි කල්පනාව. වෙලාවක් තියේනම් කියවලා යන්න එන්න. මොනවා ලියනවද නොලියනවද කියන එක ගැන මෙලෝ අදහසක් නෑ ඉතිම්. මොනවා හරි ලියවෙයි. ඒනම් ජයවේවා. ලියාන්ටයි පටන් ගන්නේ. ඔය කිව්වට ආය කාලෙකට අප්ඩේට් වෙන්නෙම නැතිවෙයිද දන්නෑ ඉතිම්.. හෙහ් හෙහ්....
Related Posts with Thumbnails