Tuesday, August 24, 2010

වචන ටැපලීමක්.......

බිත්ති දිගේ ඇවිදින ඉබ්බෝ ගැන කතාවක් කිව්වා මතකද...? 

අන්න ඒ කතාවේ ප්‍රධාන වෙච්චි ගංගා හිටපු අච්චු කන්තෝරුවෙ හිටියා ගංගටම ගැලපෙන චරිතයක්... 

නම සුනිල් කියල කියමුකෝ... ඇත්ත නම නම් ඒක නෙවෙයි... පුතා ඇත්ත නම නොකියන්නේ සුනිල්ට තියෙන බයකට එහෙම නෙවෙයි ඕං... දුක හිතිල ඇඬුවොත් එහෙම කියලා හරිය... :D

ඉස්සෙල්ලාම කියන්ට ඕන සුනිල් ඇවිල්ලා හරිම හිත හොඳ බුවා... හැබැයි පොඩි අවුලකට තියෙන්නේ පොඩි කේස් එකටත් ශුද්ධ සිංහල ශබ්ද කෝෂය පෙරලන එක... කම්මැලි වගෙ හිතුන වෙලාවක සුනිල්ව අවුස්ස ගත්තම කන පිරෙන්න අහගන්න එක තමා ගංගලයි අපෙයි හොබි එක වෙලා තිබුනේ... 


සුනිල්ට තියෙන තවත් අවුලක් තමයි මොකක් හරි කියන්න ගියාම වචන ටැපලෙන එක... නිකන් ආච්චියි තාර පැටියයි වගෙ කතා තමයි හදිස්සි වුනාම බුවාගෙන් පිට වෙන්නෙ... 
-----------
ඔන්න දවසක් අපේ එවුන් සෙට් වුනා යාළුවෙකුගේ ගෙදර... 

දැන් ඉතින් සීන් එක නැගල යනවා... වීදුරු පිරෙනවා... බෝතල් හිස්වෙනවා... මස් කටු ඇඹරෙනවා... චූටි යුධ පිටියක් වගෙ තමයි... 

ඔය අස්සේ සුනිලා කන බොන එව්වා ඔක්කම අමතක කරලා උඩ බලාගෙන කල්පනා කරනවා...( කල්පනා කරාමද දන්නේ නෑ.. කොහොම හරි උඩ බලාගෙන හිටියා විනාඩි තුන හතරක්ම...) ඔහොම හිටපු බුවා එක පාරටම ගෙදර එකාගෙන් අහනවා..


"ඒයි මේ... මේ ලීය හදලා තියෙන්නේ ලෑලි වලින්ද බං.... "





"හෑ මොකක්ද උඹ ඇහුවේ......."





ඒ පාර සිවිලිමට අත් දික් කරලා මූ හෙන අහිංසක විදිහට කියනවා
"නෑ බන් මේක හදලා තියෙන්නේ ලෑලි වලින්ද කියලා ඇහුවේ..."



හදිස්සියට මුට සීලිම කියන නම අමතක වෙලා කොහෙන් හරි ලී කියන වචනයක් ඇවිල්ලා... 
පව් නේ... නෑ නෑ පව් නෑ... එදා බයිට් මදිවෙලා බුවාව තමා මදි හරියට ගත්තේ... 


එදායින් පස්සේ කවුරුහරි ලී වලින් හදන ලෑලි ගැන සුනිල්ගෙන් ඇහුවොත් අහපු එකාගේ මව් පාර්ශවෙ පරම්පරා දෙක තුනකටම නොමිලේම පිං අනුමෝදන් කරගන්න වාසනාව උදා වුනා...





-----------



දවසක් කන්තෝරුවේ බුවෙක් උදේම ඉන්නවා නිකන් හුඹහකින් ඇදල ගත්තු එකෙක් වගෙ... කන් පාත් වෙලා... ඇස් ගිලා බැහැලා... ලඟින් යන්ට බෑ පුසුඹ... 


ඊට කලින්දා රෑ හොඳටම මතට තිත තියලා... 

මූ ඉන්න විදිහට දුක හිතුන කන්තෝරුවේ එවුන් මූව යථා තත්වෙට මොනවද දෙන්ට ඕන කියලා කතා කරන්ට ගත්තා... 

දැන් ඉතින් එක එකාගෙ අත් බෙහෙත් ජාති එනවා... 

එකෙක් කියනවා මුට තැඹිලි එකක් දෙමු.. තව එකෙක් දෙහි බීම එකක් දෙමු කියනවා... ඒ අස්සේ එකෙක් කියනවා තව ෂොට් එකක් දුන්නනම් හරියයි කියලා... (පුතා අහල තියෙන විදිහට ඒක හොඳ අත්බෙහෙතක්ලු නේ... ) 

ඔය කතා අතරට පැනපු සුනිලා... 

"ඒයි මුට බුල්ෂිට් එකක් දෙමු බං... ගහපු ගමන් හරියනවා..."

ඈ මොකක්... ඔච්චර වෙලා අමාරුවෙන් හිටපු එකාගෙ අමාරුවත් ගියා වගෙ සුනිල්ගෙ අත්බෙහෙත අහපු ගමන්... 

"ඇයි බං අර දැන් අර එනජි ඩ්‍රින්ක් කියලා එකක් තියෙන්නේ...... ඒක නියමයිලු ඔය වගෙ වෙලාවට..." 

හදිස්සියට සුනිල්ට රෙඩ්බුල් බුල්ෂිට් වලට මාරු වෙලා....



-----------



Sunday, August 22, 2010

බණ කතාවක් වගෙ කතාවක්...



අද කියන්න යන්නේ නෝටිම නෝටි, පවු පිරෙන, චාටර් කතාවක් හරිය... ඒ වගෙ කතාවලට අකමැතිනම් බලන්ට එපා ඈ...


ඇයි පුතා වෙනදා ෂෝයි කතාද කියන්නේ... නෑ ඉතින් පූර්ව දැනුම් දීම් කරන එක හොඳයිනේ... නේද..?
සමහර විට මේක අහල තියෙන උදවියත් ඇති... ඕං...


සමහරක් උදවිය දැනුම් තේරුම් එන කාලෙදි තමන්ගේ උප්පැන්න සහතිකේ තියෙන ආගම අතහැරල වෙනත් ආගම් වලට සම්බන්ධ වෙනවනෙ.. 

ඒ වගෙ අනන්තවත් සිද්ධි අහල ඇතිනේ... හොඳම උදාහරණයක් තමා කතන්දරකාරයාගේ මේන් මේ පෝස්ට් එක...


ඉතින් ඕන්න ඔය වගෙ මුස්ලිම් පවුලක ඉපදුන බුවෙක් තරුණ වයසට ආවට පස්සේ බුද්ධාගමට හැරුනලු... හැරුනද හැරෙව්වද හරියටම දන්නේ නෑ... කොහොම හරි බුද්ධාගමට ගියාලු...


බුද්ධාගමට ගියා විතරක් නෙවෙයි ටික දවසකින් මේ හාදයා යෝනකතිස්ස කියන නමින් මහන වුනාලු... 

මහන වෙලා බණ දහම් ඉගෙන ගත්තු යෝනකතිස්ස හාමුදුරුවෝ විචිත්‍ර ධර්ම දේශකයෙක් විදිහට ප්‍රසිද්ධ වුනාලු... 

මේං මේකා බුද්ධාගමට නිග්‍රහ කරන්ට තමා ලේස්ති වෙන්නේ කියලා ඔබතුමා හරි තුමීට හිතෙනවනම් ඉතිරි ටික නොකියෙව්වත් හොඳයි ඈ...

ඉතින් මේ යෝනකතිස්ස හාමුදුරුවෝ දවසක් වෙස්සන්තර ජාතක කතාව බණකට දේශණා කරනවලු... බණ යනව මෙහෙම...


අපේ වෙස්සන්තර අප්පුහාමි අරිම ඔඳ මුනිහා තමා...

තමන්ගේ අලි ඇත්තු දන් දුන්නා... වස්තුව දන් දුන්නා.... අන්තිමට තමන්ගේ රජ කමත් දන් දුන්නා... 

මේම මේම තමන්ගේ ඔක්කොම දන් දුන්නු වෙස්සන්තර අප්පුහාමිට මොනවද ඉතුරු වුනා... පවුලයි දරු දෙන්නයි තමා ඉතුරු වුනා... 

අනේ වෙස්සන්තර අප්පුහාමි පවුලයි දරු දෙන්නයි එක්කරන් කැලේට පැන්නා... තපස් කරන්ට... 

මේම තපස් කරාගෙන ඉන්න අතරෙ දවසක් අප්පුහාමිගේ පවුල මන්ත්‍රි දේවි කැලේ ඇතුලට ගියා පල වැල කරාන එන්ට... දරුවෝ දෙන්න වෙස්සන්තර අප්පුහාමි ලඟ තියලා.. 

දැන් යෝනක හාමුදුරුවෝ ලස්සනට විස්තර කරගෙන යනවා සීන් එක... ජූතක බමුණා ඇවිල්ලා දරු දෙදෙනා ඇරන් යනවා... මන්ත්‍රී දේවි ඇවිල්ලා වැලපෙනවා... 

ඔය විස්තර කිරීමේ සංවේදි කමටම බණ අහන්ට ඇවිල්ලා ඉන්න උපාසක අම්ම කෙනෙකුට දුක උහුලගන්ටම බැරුව ඉකි ගගහ අඬනවා... 

බණ කියන ගමන් යෝනක හාමුදුරුවෝ මේ සීන් එක දකිනවා... ඒක දැකපු උන්වහන්සේ මෙහෙම දේශනා කරනවා...

දරු දෙදෙනාම නැති වුනා තමා, මන්ත්‍රි දේවි ඇත්තිට බොහෝම දුක තමා, යේකට යේ ඇත්තිට ඇඬෙනවා සරි තමා....
ඒත් මේ පට්ට **** මෙතන මොකට අඬනවා...

ප\ලි: අහල තියෙයිද ෂකීර් නායික් කියල කෙනෙක් ගැන....

Wednesday, August 18, 2010

ඉස්කෝලෙ කාලේ - 01 "එපා අෙන්"

මේ ඒ ලෙවල් කාලෙනෙ.. මේ වෙද්දිනම් විභාගෙ සෑහෙන දුරට ඉවරවෙලා ඇත්තේ..... 


වෙන්ඩ ඉංජිනියර් වෙන්ඩ ඩොක්ටර් වගෙ හිටපු නංගිලා මල්ලිලා අතරින් හරියට වැඩ කරපු ළමයිනම් සතුටෙන් ඇති ඇට්ටි හැලෙන්ට ගේම දුන්නා කියලා.... 


පුරුදු විදිහටම හරියට වැඩ නොකරපු නංගිලා මල්ලිලා නම් තමන්ගේ තත්වෙ තේරුම් අරන් වෙන්ඩ ටීඕ හරි වෙන්ඩ නර්ස් හරි වගෙ හිත හදාගෙන ඇති මේ වෙද්දි..... 


පුතත් ඒ ලෙවල් ලියන්ට කලින් නම් හිටියේ වෙන්ඩ ඉංජිනියර් මෙන්ටලිටි එකෙන් තමයි.... ඒත් විභාගේ ඉවර වෙද්දි අ.පො.ස කියන එකේ නියම තේරුම "අපරාදෙ පොත්වලට සල්ලි"  කියලම තමයි හිතුනේ... 


විස්ස විජ්ජාලේ යන්ට බැරිවුනාම දුක තමා රංජණී කියලා හිත හදාගත්තට අවුරුදු අටක් නවයක් ගිහිල්ලත් ඉඳල හිටල හීනෙන් පේනවා ආපහු විභාගෙ ලියනවා..... හරිම දුක හිතෙන සෙන්ටිමෙන්ටල් සීන් එකක් තමයි පුතාටනම් ඒක... 


යාළුවොත් එක්ක සෙට් වෙලා පාඩම් කරනවා කියලා වෙන වෙන නසරාණී වැඩ කරපු එකට දිට්ඨ ධම්ම වේදණීය කරුමෙන් පටිසන් දුන්නා කියලා තමයි පුතා අන්තිමට තේරුම් ගත්තේ... 


ඒ මොනව වුනත් ඒ ලෙවල් කාලෙ කියන්නේ පිස්සු හොඳම එකෙන් තියෙන කාලෙනේ... පාඩම් කරන්ට සෙට් වුනත් එහෙමනෙ.... ඉතින් ඔය ඒ ලෙවල් වලට පාඩම් කරද්දි පුතාගේ යාළුවෙකුට වෙච්ච එලම සීන් කෝන් එකක් මතක් වුනා.....  


විභාගෙට මාස පහක් හයක් විතර තියෙද්දි පුතාගෙ හොඳම යාළුවෙක් වෙන තමිලට මිනිහගෙ කුළුඳුල් පස්වෙනි පෙම්වතියත් හා කිව්වලු... 


ගෑණු දරුවා සිදුහත් කුමාරයාගෙ අම්මගෙ ඉස්කෝලේ ළමයෙක්ලු.... 


ඒ වෙද්දි සිරාම බ්‍රයිට් කේස් එකක්.... ඒත් අපෙ බුවා ආශ්‍රය කරපු හින්දද මන්දා ඒ ළමයත් විභාගේ හොඳටෝම ඇන ගත්තා.... 


ඉතින් විභාගෙ ලං වෙන්ට වෙන්ට මුං දෙන්නගෙ සීන් කෝන් එකත් උපරිම තලයට ඇවිල්ලා තිබුනේ....  


සතියට දවස් තුනක්වත් ෂූටිං තියෙනවම තමයි... 


මාතලෙ පාර්ක් එක, උඩවත්ත කැලේ, පේරාදෙණියේ මල්වත්ත එහෙම තමයි ඉතින් මුන්ගෙ ලොකේෂන් විදිහට තෝරාගෙන තිබුනේ.... 


තමිල නම් කිව්වේ මුළු ෂූටිං එකම යන්නේ බුවාගේ අධ්‍යක්ෂණය යටතෙ කියලයි... ඇත්තම සීන් එක වෙලා තියෙන්නේ මූ නිෂ්පාදන වියදම් දරද්දි අනිත් පාර්ශ්වයට ඕන විදිහට චිත්‍රපටිය යන එක... 


ඉතින් බුවා දවල්ට ෂූටිං ගිහිල්ලා ඇවිල්ලා මහන්සියට නිදාගෙන රෑ නැගිටලා තමයි පාඩම් කරන්නේ... 


සැරටම ෂූටිං ගිය දවසක බුවා රෑ එකොලහට විතර එලාම් එක සෙට් කරල නිදාගෙන... 


දවල් සීන් කෝන් වල නැවත විකාශය හීනෙන් බල බල ඉද්දි දැනිල ගෑණු ළමයා බුවාගේ ඔළුවෙ ඉඳන් පල්ලෙහාට අතගාගෙන යනව වගෙ.... 


බුවත් නින්දෙන්ම "එපා අනේ.... ඇයි කරදර කරන්නේ..."කියල හුරතල් විදිහට කියාගෙනම අර අතත් සිනිඳුවට අතගාගෙන ගිහිල්ලා...


ඒ ක්ෂණිකවම බුවාට ඇහිලා "චූටි පුතා නැගිටිනවා" කියල කෑ ගහන සද්දයක්...


දඩ බඩස් ගාල ඇහැරිල බලද්දි මෙන්න තාත්තා ඉන්නවලු ඇඳ ගාව හිටගෙන නිකම් හොල්මනක් දැකලා බයවෙලා වගෙ..... 


සීන් එක වෙලා තියෙන්නේ එලාම් එක දෙතුන් පාරක් වැදෙද්දිත් මූ ඇහැරිලා නැති කොට තාත්ත ඇවිල්ලා මූව නැගිට්ටවන්ට.... 


තාත්තා ඇවිත් බුවාව නැගිට්ටවන්ට හිතාගෙන ඔළුවෙන් අල්ලලා හොල්ලද්දි තමයි බුවාගෙ හීනෙත් ඔළුව අතගාන සීන් එක ඇවිල්ල තියෙන්නේ.... ඊට පස්සේ ඉතින් වෙච්ච දේ හිතාගත්තැකිනේ....

Sunday, August 15, 2010

අප්සට් කතාවක්

හරියටම සතියක් ගියා ඕං පුතා අන්තිම පෝස්ට් එක දාලා... 


බ්ලොග් එක පටන් ගනිද්දි පුතා ප්ලෑන් කරගෙන හිටියේ අඩුම ගානේ සතියකට පොස්ට් දෙකක්වත් දානව කියල තමයි... 


ඒ ප්ලෑන් එක වෙනස් වුනා ගිය සතියේ පුතාගෙ පොඩි එන්ජින් ට්‍රබල් එකක් ආපු හින්දා... දැන්නම් තත්වෙ යථා තත්වෙට පත් වෙලා තියෙන්නේ.... 


ඉතින් ඕං පුතාට මතක් වුනාලු  පුතාගේ යාළුවෙක් වෙන චන්දිබූත්ගෙ එන්ජින් ට්‍රබල් එකකදි වෙච්ච සිද්ධියක්... 


කව්ද අනේ චන්දිබූත් කියන්නේ... පුතාට අර ඇවරි කතාවක් ගැන කියපු යාලුවා තමයි චන්දිබූත් කියන්නේ...


-----------

මෙහෙමයි සීන් එක... 


චන්දිබූත් ඩුබායි ආපු මුල්ම දවස්වල.... දවසක් බුවාට උණ ගැනිලා....


කොහොමත් ඔය උණ හෙම්බිරිස්සාව වගෙ ලෙඩ හැදුන ගමන් ඩොකෙක් ලඟට යන සිරිතක් අපි ලඟ නෑනේ... 


ඉතින් චන්දිබූත් දවසක් දෙකක් පැනඩෝල් එහෙම බීලා වැඩේ ගොඩ දාන්ට බලලා... 


ම්හ්... එන්ට එන්ටම උණ වැඩිවෙන සීන් එකක් තමයි වෙලා තියෙන්නේ... 


චන්දිබූත් ඉන්නේ අමාරුවෙන් කියලා දැකපු කම්පැනියේ ලොක්කා බුවයි තව ලංකාවේ එකෙකුයි කම්පැනි වාහනෙකම දාල ඉස්පිරිතාලෙට පිටත් කරලා....  


රියදුරු මහත්තයත් ලංකාවෙම දෙමළ බුවෙක්... ඇත්ත නම කිව්වොත් චන්දිබූත් කවුද කියල එලි වෙන්ට පුලුවන් නිසා මම රියදුරු මහත්තයාට රඝූ කියල කියන්නම්....


ඔන්න ඉතින් ඉස්පිරිතාලේ ලඟටම ආවට පස්සේ චන්දිබූත් රඝූ අයියට කියනවලු.....
"රඝු අයියේ... දැන්නම් මට ඉස්පිරිතාලේ යන්ට බෑ... අපි ආපහු කාමරෙට ගිහිල්ලා එමුද.."
රඝු අයියට මේක ඇහුවම එකසිය ගානට මල පැනල.... "ඈ බන්.... උඹට මොකද හදිස්සියේ උනේ... මෙතෙන්ටම ඇවිල්ලා යන්ට බෑ කියන්නේ" 
තව සිංහල ශබ්ද කෝෂේ තියෙන බ්ලොග් එකක ලියන්ට කැතයි කැතයි වගෙ හිතෙන රඝුවා දන්න කියන ලස්සනම වචන දාලා චන්දිබූත්ට බනිනවලු.... 


ඒත් චන්දිබූත් නෙවෙයිලු හෙල්ලෙන්නේ.... ආපහු යං කියලමලු බුවා කියන්නේ..
බැරිම තැන රඝූ අයියා මුගෙන් ඇහුවලු..... "මොකක්ද ඔච්චරම උඹට තියෙන අමාරුව උඹට ඉස්පිරිතාලෙ යන්ට..." කියලා....
අනේ අපේ චන්දිබූත් අන්තිම අසරණ විදිහට කියනවලු.... "නෑ රඝු අයියේ.... අද මං ඇඳල ඉන්නේ අප්සට් ජොකෙක්.... ඒකයි" කියලා....
ඉතින් ඒක ඇහුවට පස්සේ රඝූ අයියත් වාහනෙ හරවගෙන ආපහු කාමරෙට ඇවිල්ලා.....
උණට බෙහෙත් ගන්න එකෙයි යට ඇඳුමෙයි තියෙන සම්බන්ධෙ මොකක්ද නේද අනේ.... ඕං පුතාට පේනවා තැන් තැන් වලින් කසු කුසු ඇහෙන්ට ගන්නවා...
------------

මේකයි සිද්ධිය...


උණ හැදිල ගියාම මෙහේ ඉස්පිරිතාලවල තියෙන්නේ කෝකටත් තයිලේ වගෙ එකම විසඳුමක්.....



ඒ තමා කක්කි පැත්තට තඩි ඉන්ජෙක්ෂන් එකක් ගහන එක....උදේ ගැහුවොත් හැන්දෑ වෙද්දි උණ කොහෙන් ගියාද නෑ.... ඉතින් ගොඩක් වෙලාවට ඕක ගහන්ට ඉන්නෙත් පිලිපීන් හරි ඉන්දියන් හරි ගැහැණු නර්ස් කෙනෙක්..... 


ඔය සීන් එක චන්දිබූත් දැනගෙන තියෙන්නේ අර බුවාගේ තනියට ආපු යාළුවා ඉස්පිරිතාලෙට යන අතරෙදි කිව්වට පස්සේ තමා... 


ඉතින් චන්දිබූත් අර විදිහට අසරණ වුනේ ඇයි කියලා දැන් හිතා ගත්තැකිනේ.....


Sunday, August 8, 2010

ලුනු ඇඹුල් දමා (අ)නා ගැනීම....

අපි ගොඩක් වෙලාවට කතාවක් තවත් කාට හරි කියන්ට ගියාම අමතරෙන් ලුනු ඇඹුල් ටිකක් දානවනෙ.... සොරි වෙන්ට ඕන ඔබතුමී හරි ඔබතුමා හරි එහෙම කරන්නෙ නැත්තම්... හැබැයි මමතුමානම් ටිකක් විතර දානවලු... හරිය.. 


ඉතින් ඔය ප්‍රධාන සීන් එකේ මෙව්වා එකට හානියක් වෙන්නේ නැත්තම් ටිකක් විතර අතින් දැම්මට අවුලක් නෑ කියල තමයි පුතා හිතන්නේ..... හැබැයි දාන කොට පරිස්සමින් දාන්ට ඕන... එහෙම නැතුව නිකන් තියෙන එකනෙ කියල දාගෙන දාගෙන ගියොත් නම් ඉතින් වැඩේ අල වෙන්ට පුලුවන් කියල තමා පුතාට හිතෙන්නේ....(ඔය පඬි වදන් දුන්නට ලුනු ඇඹුල් දාන්ට ගියාම ගොඩක් වෙලාවට පුතත් කරගන්නෙම නාගන්න එක තමයි ඉතින්....)


එහෙම අතින් දාල නාගත්තු සීන් කෝන් එකක් ගැන පුතාට අහන්ට ලැබුනු කතාවක් තමයි ඕං අද ලියන්නේ...
ලංකාවේ සිදුවුනු දරුණුම ගුවන් අනතුර මොකක්ද කියලා දන්නවද..?


පුතා දන්න කියන විදිහට ඔය දරුණුම ගුවන් අනතුර සිරීපාදේ හැප්පිලා තියෙන්නේ පුතා ඉපදෙන්ට අවුරුදු 7-8කට විතර කලින්... ඒකෙදි මිනිස්සු දෙසීයක් විතර මැරිලා තියෙනවලු.... ඉන්දුනීසියාවෙන් හරි මැලේසියාවෙන් හරි (හරියටම මතක නෑ රට මොකක්ද කියලා..) ඉඳන් මක්කම වඳින්ට යන්ට ආපු මුස්ලිම්වරු පිරිසක් තමයි ඔය ප්ලේන් එකේ ඉඳලා තියෙන්නේ....
ඉතින් ඔය ප්ලේන් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඒක දැකපු බුවාලගෙන් ඒ ගැන විස්තර එහෙම ඇරන් තියෙනවා... පුතා හිතන්නේ කළු පෙට්ටිය හොයා ගන්නකම් වැඩකුත් තියෙන්ට ඕන හින්දා තමයි ඔය වටපිටාවේ හිටපු බුවාලගෙන් මොනවද දැක්කේ කියල අහන්ට ඇත්තේ... ආහ්... "කළු පෙට්ටිය" කියන්නේ මොකක්ද කියලා දන්නවනෙ.... ප්ලේන් එකක් ඇක්සිඩන්ට් එකක හැප්පුනාම ඒ කියන්නේ ඒයාර් ක්‍රෑෂ් එකක් වුනාම ඒකට හේතුව හොයාගන්ට තියෙන හොඳම සාක්කිකාරයා තමා "කළු පෙට්ටිය" කියන්නේ... ඕක ඉතින් හැමෝම දන්න දෙයක්නේ.. 


ඉතින් ඔය කළු පෙට්ටිය මොන පාටද කියල ඇහුවොත් එක පාරටම හිතෙන්නේ නිකන් අර "කළු ජූලිය" සිදුවූයේ කිනම් මාසයකද ජාතියේ ප්‍රශ්ණයක් ඇහුව කියල නේද..? 
අදත් ඕන් නැති ප්‍රශ්ණ අහල ඇදගෙනම නාගන්ට වගෙ නේද පුතා සෙට් වෙන්නේ...... නෑ නෑ අද නාගන්නෙ ප්‍රශ්න අහල නෙවෙයි... :D


ඉතින් ඕකෙ නම කළු පෙට්ටිය වුනත් ඔය ගැජමැටික් එක තද තැඹිලි පාටින් තමා පාට කරල තියෙන්නේ.... 


ඔය ඕනතරම් කට්ට කලු බුවාල බුවීල ඉන්නේ සුදූ කියල නම තියෙන..... ඒ ඉතින් ආදරෙට කියන නමක්නෙ... නේද.... එහෙනම් තැඹිලි පාට පෙට්ටියට කළු පෙට්ටිය කියන්නෙත් ආදරෙට වෙන්ටැති කියල පුතා උපකල්පනය කරනවා.....
පෙට්ටි ගැන කියන්ට ගිහිල්ල කියන්ට ආපු කතාවත් අමතක වෙනවා... ඕං.... ම්... ම්... හරි... ඉතින් ඔය ප්ලේන් ක්‍රෑෂ් එක දැකපු බුවාලගෙන් විස්තර ගන්නවනෙ.... දැන් ඉතින් එක එක්කෙනා කියනවා තමන් දැකපු දේවල්..... ඔහොම අහගෙන අහගෙන යන අතරෙ එක බුවෙක් කියනවලු...(මිනිහත් ටිකක් විතර පුතා වගෙ අතිනුත් දාන බුවෙක්ලු.....) "මම දැක්කා අහස් යාත්‍රාවක් සෑහෙන පාතින් යනවා........ 
බීපු මිනිහෙක් එලවනවා වගෙ එහෙට මෙහෙට පැද්දි පැද්දි තමා ඕං ගියේ..... 
මට ඒත් හිතුනා මොකුත් නමුත් ලොකු අනතුරක් වෙන්ට තමා යන්නේ කියලා...
හිතුවා හරි.. මේං අහස් යාත්‍රාවකන්දේ හැප්පිච්චි... මේ නේත්තරා දෙකෙන් බලාගෙන ඉන්ඳැද්දිම......  
දුකේ බෑ අප්පා... 
එකේ හිටපු මිනිස්සු බුදු අම්මෝ බේරගනියෝ කියල කෑ ගහපු සද්දෙ මට දැනුත් දෝංකාර දෙනවා දෙනවා වගෙ ඕං...."
කතාව ඉවරායි....
ප/ලි: ඕං පුතා නාගෙනලු... අහස් යන්තරෙ හැප්පිලා තියෙන්නේ සිරීපාදේ නෙවෙයි සප්ත කන්‍යා කන්දෙලු.... තැන්කූ කිව්වලු මකරට වැරැද්ද පෙන්නුවාට...

Thursday, August 5, 2010

(ඕන්)නැති ප්‍රශ්ණ....

පුතා මල ගෙවල්වල නයිට් ගහපු දවස්වල නින්ද යනවට කියපු ප්‍රශ්ණ මතක ඇති කියල උපකල්පනය කරනව ඕං........ ඇත්තද ආ... එහෙමත් එකක් තිබ්බද? අපි දන්නේ නැනේ...  


දැනට සතියකට දෙකකට කලින් එහෙම පෝස්ට් දෙකක් විතර දැම්මලු... හරිය.... ප්‍රශ්ණ දාගන්ට කැමතිනම් පල්ලෙහා තියෙන ලින්ක් වලට ගිහිං බලාගන්ට ඕං...


1.ටොයිලට් ප්‍රශ්ණයක්...  
2.(බැරි වෙලාවත්) කුකුලෙක් බිත්තරයක් දැම්මොත්...
ඉතින් ඔය ප්‍රශ්ණ කතා දෙකට තමා පුතාගේ බ්ලොග් එක කියවන උදවිය වැඩිම පාරක් ගිහිල්ල තියෙන්නේ... ගූගල් එකෙන් අලුතින් හයි කරපු ස්ටැට් මීටරෙ තමා පුතාට ඕක පෙන්නලා දුන්නේ... තැන්කූ වේවා කිව්වා ගූගල් එකේ අයියලාට ඕං... පුතා ඔය එම්.එස්.ප්‍රනාන්දුගේ බාප්පා වගෙ ගීත ගායනා කරගෙන යන්නේ අදත් ඉතින් මාගලක් වගෙ ප්‍රශ්ණ පත්තරයක් දාන්ට තමයි ඕං.. එහෙම නේද හිතෙන්නේ... ඉතින් හිතුන එක හරිනේ... අදත් ප්‍රශ්ණයක් දෙකක් දාන්ට කියල තමයි පුතා හිතුවේ... 


හැබැයි මේ ප්‍රශ්ණ නම් මලගෙවල්වලදි පුතාට අහන්ට ලැබුනු ඒවා නම් නෙවෙයි...
මේක පුතාගේ නැදැ අක්කෙක් පුතාගෙන් අහපු එකක්... ඕක අහල තියෙන්නේ එයා සහභාගි වුන seminar එකකදි ඒක මෙහයවපු ලොක්කෙක්ලු.. ලොක්ක කිව්වේ නා...කි ලොක්කෙක් නෙවෙයි බුවාගේ තනතුරේ හැටියට ලොක්කෙක් හින්ද ඈ... ( ඇයි ඉතින් සමහරු වයසක ඇත්තොන්ටත් ආ.. ලොක්කා කියලනෙ කියන්නේ... ඒකයි නොමග යන්ට කලින් තේරුම් කරල දුන්නේ... ඕං... )
ප්‍රශ්ණේ අහනවනම් අහන්ට අදාල නැති කයි කතන්දර නොකියා... අපිට වැඩ තියෙනවා නේද...? 
නෑ ඉතින් ලොක්කෙක් අහපු එකක්නෙ.. ඒකයි පොඩි ඇඩ් එකක් එහෙම දාල ගත්තේ...
-----------------

ඕං එහෙනම් වැඩ්ඩෙක් ඉන්නවනම් උත්තරෙ දෙන්ට....
ඔන්න එකමත් එක දවසක තාත්තෙකුයි පුතෙකුයි ගමනක් යද්දි දෙන්නා හැප්පෙනවා ඇක්සිඩන්ට් එකක... කියන්නේ ඒ දෙන්නා ගිය බයික් එක හැප්පෙනවා මාර ගහක....  


අනේ තාත්තා ඒතෙනදිම මියෑදෙනවා.. ගෙනාපු ආයුෂ ඉවර වුනාම අනිවා යන්ටම එපැය නේද..? 
හොඳටම අසාධ්‍ය තත්වේ ඉන්න පුතාව වටෙ පිටේ හිටපු කට්ටිය ඉක්මනටම ඉස්පිරිතාලෙට ගෙනියනවා... ඉතින් ඉස්පිරිතාලේදි ලෙඩාගේ තත්වය දරුණු හින්දා ගන්නවා කෙලින්ම ඔපරෙෂන් කරන්ට.... 
දැන් ඕං ඔපරෙෂන් කරන කාමරෙට ඇරන් ලෙඩා දාලා ඉන්නවලු. ඇඳෙ..... ඔන්න ඉතින් එනවලු ඔපරෙෂන් එක කරන දොස්තර... එයාට සිංහලෙන් කියන්නේ "ස(ර්)ජන්" කියල නේ.... 
අනේ මේ ස(ර්)ජන් ඇඳෙ ඉන්න ලෙඩා දැක්ක විතරයි "මගෙ පුතේ මොකක්ද මේ වෙලා තියෙන්නේ...." කිය කිය හූ තිය තිය අඬන්ට ගත්තලු... 
ඈ එහෙම වෙන්නෙ කොහොමද තාත්තා ඇක්සිඩන්ට් එකේ හැප්පිලා මැරුණනෙ... ඉතින් ඒක තමයි මාත් අහන්ට යන ප්‍රශ්නේ....


ස(ර්)}ජන් කොහොමද මේ ඉන්නේ මගෙ පුතා කියල කියන්නේ?
-----------------

එක ප්‍රශ්ණයක් විතරක් මදි මදි වගේ නේ... ඇයි එකක් ඉල්ලන්නකෝ දෙකක් නේ... ----------------


හරි එහෙනම් දෙවැනි එක..
ඔන්න අමාවක දවසක... කලුම කලු කිට් එකක් ඇඳ ගත්තු ගොලු බුවෙක් (ගොලු බුවාලට කන් ඇහෙන්නෙත් නෑ හරිය... ) කලුම කලු තාර පාරක් දිගේ ඉස්සරහට ඇවිදගෙන එනවලු.... ඉස්සරහට නැතුව පස්සට ඇවිදින රටක් තියෙනවද ...? ගොන් කතා කියන්නෙ නැතුව අහනවනම් ප්‍රශ්නෙ අහන්ට නේද.... 


ඔන්න අනිත් පැත්තෙන් එනවලු කලුම කලු කාර් එකක් මිනිහගෙ ඉස්සරහට... ලයිටුත් ඔෆ් කරගෙන... 


දැන් නිකම් කොහොමද සීන් එක ආ... ගොලු බීරි බුවා වැඩ්ඩා වගේ ඇවිදගෙන යනවා ඉස්සරහට... අනිත් පැත්තෙන් කාර් එක හැටට හැටේ එනවා මිනිහාගේ පැත්තට... 
ඔය බලාගෙන ඉන්නේ තවත් ඇක්සිඩන්ට් එකක් හැප්පුනා කියනකම්නේ නේ... 


හූ... මේ පාර හැප්පෙන්නේ නෑලු ඕං.. කාර් එක නවත්තනවලු මිනිහ හැප්පෙන්ට කලින්...


ප්‍රශ්ණය... කොහොමද කාර් එකේ රියදුරු මහත්තයා ගොලු බුවාව දැක්කේ.....?

Monday, August 2, 2010

සිම්පල් ප්ලෑන් එකක්

පුතාට ඉඳල හිටලා නොවැලැක්විය හේතු හින්දා අල්ලපු රටෙ කෑම වල රහ බලන්ට සිද්ධ වෙනවා... අල්ලපු රටෙ කෑම වලිනුත් ගොඩක් වෙලාවට ඉතින් බැන බැන හරි කන්ට වෙන්නෙම මලබාරි කෑමම තමයි...  


අර දීපාල් සිල්වා කියන ( ගයනවාට වඩා කියනවා කියන එක හරි පුතාට හිතෙන විදිහට..) "ආනන්ද භවන්" සිංදුව තමා පුතාට ඒ වෙලාවට මතකෙට එන්නේ.... "ආනන්ද භවන් එකට වැදී තෝසෙ ගිලිනවා එලියට ඇවිදින් යාපනෙ දෙමළුන්ට බනිනවා..." ඩයල් එක එහෙමටම සෙට් වෙන්නේ නැතිවුනත් මිනිහ කියන කතන්දරේ බලාගෙන ගියාම ඇත්ත නේද??;... මුළු ඉන්දියාවටම පොදු කෑමක් තමයි ගැන තමයි ඕං කියන්ට කියන්නේ... එළවළු වලට කියන හින්දි නම තමා "සබ්ජි"... ඉතින් ඔය මලබාරි පොරවල් ඉතිරිවෙලා තියෙන එළවළු ඔක්කම දාලා හදනවා කරියක්.. ඕකට මුන් කියන්නේ සබ්ජි කරිය කියලා...


කරි වර්ග දෙක තුනක් හදන්ට කම්මැලි හිතුනම එකකින් ෂේප් වෙන්ට පුළුවන් කම හින්දා තමයි ගොඩක් වෙලාවට බුවාල "සබ්ජිය" හදන්ට සෙට් වෙන්නේ...ඕක හදලා කාලා ඉතුරු ටික ප්‍රිජ් එකට දැම්මා, පහුවදා ගත්තා රත් කරා කෑවා.. ඉතුරු හරිය ආපහු ප්‍රිජ් එකට... ඔය ටෙස්ට් මැච් එක ඉතින් සමහරදාට දවස් 5-6 ක් දක්වා ඇදී යන වෙලාවලුත් එනවා..... හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද? 





පුතාට හිතෙන්නේ ඕකට ගැලපෙන්නේ සබ්ජි වලට වඩා "බැරිම තැන" වගෙ නමක්... මොකද ඕක හදන්නේ ගොඩක් වෙලාවට උයන එක වදයක් වෙලා බැරිම තැන නේ...


කොහොමටත් පුතා   නම් ඔය සබ්ජිය කන්ට යන්නේනෙම නෑ... ආය මොකටද අපේ එවුන් බය කරන්නේ කොටි ඒ පාර ඩුබායි වලට බෝම්බ දානව කියල... විරේකයක් බීල ඉන්න එක ඊට වඩා පහසුයි ඕං....
ඔය  සබ්ජි සීන් එක දැක්කම පුතාට මතක් වුනා කොහෙදි හරි දැකපු ඊටත් වඩා සිම්පල්ම සිම්පල් ප්ලෑන් එකක් යෝජනා කරන්ට... දැකපු තැන හරියටම මතක නෑ.. මහින්දගෙ ආගිය කතාවලද මන්දා..


මේකයි ක්‍රමය


--------------


අවශ්‍ය කරන එලවළු ටික හෝදලා කපලා කරලා අරගන්නවා... රස කරන්ට දාන පහෙ ජාති මසාලා ටිකත් අනාගන්නවා එලවළුත් එක්ක... ලඟට ගන්නවා වතුර ජෝගුවක්.. ඊට පස්සේ අර තුන පහත් එක්ක අනාගත්ත එලවළු ටික කාලදානවා වතුර බොන ගමන්... 


හ්ම්හ්.. අමුවෙන් එලවළු කාල වැඩක්ද...ඒක නිකන් කෙරෙන්නේ නෑ නෑ වගේ නේ...


නෑ අමුවෙන් නෙවෙයි.... ඉදවගන්ට ක්‍රමයක් තියෙනවා


දැන් කාපු එලවළු ටික බඩෙදිම ඉදෙන්ට තමන් කැමති පැත්තකින් ගිණි පෙනෙල්ලක් ගහගන්නවා... 
සිම්පල් ප්ලෑන් එක නේද? ට්‍රයි කරල බලන්ට කම්මැලි හිතුනු වෙලාවක.....


--------------