Showing posts with label පරණ කතා. Show all posts
Showing posts with label පරණ කතා. Show all posts

Thursday, February 2, 2017

ආදරවන්තයින්ගේ මාසෙට ආදර කතා - මතක පෑරීමකි.....

වැලන්ටයින් අත ළඟ. කාලෙකට පස්සේ යුගල සම්බන්ධයක් නැතිව සමරනවා බලන් ඉන්න වෙන වැලන්ටයින් එකක්. යෞවනයේ අග්ගිස්සෙ යන්තන් එල්ලිලා ඉන්න තරුණයෙක් හැටියට ( හෙහ් හෙහ්.. තිස්පහක් වයසක්ද සුදෝ.. :ඵ් ) මං හිතන්නේ මේක හොඳම වෙලාව අතීත ආදර මතක පහුරු ගාලා බලන්න. ඉස්සරහටත් මෙහෙම තනියම මතක් කරන්න අවස්තා එන්න ලොකු සම්භාවිතාවයක් තිබ්බත් වයසත් එක්ක ඒවා මතක් කරද්දි දැනුන උණුසුම් හැඟීම එහෙමත් නැත්තන්  කිචිය, ත්‍රිල් එක නොදැනෙන්න පුළුවන් කියලා හිතෙනවා. ඉතින් ඒ වෙලාවට "කාලය කොතරම් නපුරුද" වාගේ බයිලා සොරි සොරි සිංදු කියවෙනවා. මෑතකදි වුනු පොඩි පහේ සිදුවීමකින් ඒක හොඳටම ඒත්තු ගියා.

කාලයක් තිස්සේ ගූගල් කර කර, බුකියේ කොට කොට හොයපු නමක් තිබ්බා. එහෙම නම් කීපයක්ම තියේ. මේ ඒ අතරින් හොඳම නමක්. 2003 ඔක්තොම්බර් මාසේ බද වැස්ස දවසක ලුම්බිණිය ඉස්සරහා හරියටම කියනවනම් හෙන්‍රි පේද්‍රිස් පාර්ක් එකට මෙහා පැත්තේ තියෙන කුල් ඉස්පොට් එකේදි දැක්කට පස්සේ නොදැකපු මූණක්. ඉතින් හෙව්වා.. හෙව්වා... හෙව්වා.. අන්තිමේ යුනික් වාසගමක් හින්දා ඒක ගහලා ආපු රිසාල්ට්ස්වලට මැසේජ් දදා හෙව්වත් හම්බ වුනේ නෑ.. වෙන මොනවටවත් නෙවෙයි කාලයක් පිස්සු වට්ටපු ඇස් දෙක දකින්න. හිනාව පොඩ්ඩක් බලාගන්න. ම්හ්.. ඔන්න ඔය අදහස අතෑරලා දාලා නිකමට වගේ පහුගිය දවස්වල අවසන් ආදරේට කෙලවෙලා මානසිකව වැටිලා අබ්බගාත ලයින්ස් එකේ ඉද්දි මෙන්න සොයා සොයා ආව මැණික හම්බවුනා. එදා වගේම සෙනිකව කකුලේ නියපොතුවලින් වැදුනු අකුණු පාරක් ඔළුවට යනකල් වැදිලා හතර අතට විහිදෙන්න ගත්තා. 154 බස් එකක් වගේ ඕනවට එපාවට ලබ්.. ඩබ්.. ලබ්.. ඩබ් ගගා හිටපු හිත අස්සේ එක්ස්ප්‍රස් කෝච්චියක් දුවන්න ගත්තා.. ඒත් කියන්න කණගාටුයි පිංවතුනි ඒ ආතල් එක තිවුනේ අංශුමාත්‍රයක කාලයක් පමණයි. පෙම් ලොවදි දුටු ඈමද මේ-ඈටද මා කොර වූයේ-ඈවද මෙච්චරකල් හෙව්වේ වගේ පහන් සිතුවිලි ගලාන ගලාන එන්න ගත්තා. ඉතින් තත්වය ශෝචනීයයි. ඉතින් කෝකටත් කියලා විලිලැජ්ජාව ටිකකට පැත්තකින් තියලා හිතේ අඩියම හරි කාල් ගාලා ගාලා පරණ සුවඳ ටිකක් ලියා තියන එක හොඳයි කියලා හිතුනා. ( දවසක මතක්වෙයිනේ ටෞකන්ඩ මටත් මෙහෙම කාලයක් තිබිලනේ ඕයි කියලවත් නේහ්.. හෙහ් ... හෙහ්.. )

හිරිමල් වයසෙදිම විරුද්ධ ලිංගිකයෝ දාස් ගාණක් අතරින් එකෙක් වෙනුවෙන් පිබිදෙන ආකර්ශණීය හැඟීම ජීවිත කාලයටම ඒ දෙදෙනා අතරම තියාගන්න පුළුවන් වුනු ආදරවන්තයොත් ඇති. ඒත් අපි වගේ හැමදාම ලක් එකේ හිලක් තියෙන වාසනාවන්තයින්ට ඒක උරුම වුනේ නෑ. තුන වසර පන්තියෙදි ඉස් ඉස්සෙලම්ම කෙල්ලෙක්ව මගේම කරගන්න තිබ්බනම් ( ලැජ්ජයි කියන්න ඒත් අක්කෙක් ) හිතිලා ගතවුනු අවුරුදු තිහකට ආසන්න කාලෙදි ජීවිතේ එක එක මංසන්ධිවලදි මුණ ගැහිලා වෙනත් මඟදි හැරිලා ගිය, මාව අතරමං කරපු ගැහැණු බොහොමයි. සමහර ඒවා ආදරේද කියන්නත් බැරි ඇසිපිය හෙලන තරම් වේගෙන් හමුවී වෙන්වුනු හමුවීම්. ගතින් විතරක් බැඳුන බැඳීම්. ඒත් ආපහු හැරිලා බලද්දි ඒ හැම එකක් එක්කම බැඳුනු මතකත් එක්ක ඒ කාලේ හිටපු "මං" මතක් කරගන්න පුළුවන්.

ඒත් කවදාවත් ඒවා අර අමිල නිදහස කියනවා වගේ..

උඹ එක්ක මං ආගිය හැම තැන්
පහුකරගෙන එන්නට වෙනවා හැමදාම උදයේම
ඇස් වහගෙන මං ඒ තැන් පහුකෙරුවත්
රෑ සටහන් පපුවේ මැද මැවුනා
අපි කා බිවු කඩෙන් - සිනමාහල් වලින්
ගනුදෙනුවක් කරගන්නට බැරුවා... තරමට විඳවන්න ළඟ තියාගන්න තරම් මෝඩ නොවුනු එක ගැනනම් එක අතකට සතුටුයි. ටික දවසකට එහෙම දැනුනත් කල් නොයව ලෙඩ හොඳ කරගන්න පුළුවන් හයියක් තිබුනු එක ගැන ඇත්ත්ටම අප්‍රමාණ සන්තෝෂයි. ආදරය කියන්නේ හිමිකරගැනීමම නෙවෙයි අත්හැරීම තමයි නියම ආදරය කියනවනේ. හෙහ්.. හෙහ්.. රෙද්ද තමයි. බොට හොඳ නම් මගේ මොකෑ කියලා හිත හදාගත්තා මිසක එච්චර පරිත්‍යාගශීලි සෙන්ටිමෙන්ටල් වැඩ වුනේ නෑ.

කොහොම වුනත් එදා ඉඳන් මට තිවුනු ලෙඩක් තමයි හම්බවෙන ගෑණි අනිත් එවුන්ට වඩා පට්ට ඉස්මපෙෂල්ය, මේකිනම් මාර වෙනස්ය වගේ මාන්දමික සිතුවිලි පහල වෙන එක. ඇත්තටම කියනවනම් අදටත් ඒ ලෙඩේ හොඳටම සුව වෙලා නෑ මයේ හිතේ. ආය අළුතින් කවුරු හරි එබෙන්න ගත්ත ගමන් පරණ අංතට්ටුව දාගෙන උම්බෑ කියනවා සිකුරුයි. ( මීමා කියලා මස් කඩේට දක්කන්ටැයැ නේහ්... )

ටිකක් සීරියස්ව හිතුවොත් නිමේෂයක හමුවීම් වුනත් ඒ ආදර අන්දර හැම එකකම වෙන වෙනම විඳ ගත්තු උණුහුමක් තිබ්බා. ඇස් දෙක පියාගෙන කසුන්ගේ ඉඳන් නාමල්-දිවුල්-අමරසිරි-පුන්සිරි....... ජෝතී, මිල්ටන්ලා දෙන්නට යනකල් සිංදුවෙන් සිංදුවට මාරු වෙවී විඳින්න පුළුවන් වෙන වෙන වර්ණවල මතක ගොන්නක්. මුල් කාලේ කතන්දරවල හුවමාරු වුනු සෙනෙහෙ කොළ එකතුවක් මෑතක් වෙන තුරුම තිබ්බා. දැන් කොහෙද හොයාගන්න නෑ. මුලට-මැදට-අගට සිංදූ කෑලි දාලා බොළඳ කතා ගොතපු ඒ හැමෝම වගේ අද කොතැනක හරි නැවතිලා ඇති. ඔහෑ ඔහෑ ගාලා ඇඟේ එල්ලේන පොඩි එවුන්ගේ කරච්චල් අස්සෙත්  ඉඳ හිටලා අපිවත් මතක් වෙනවත් ඇති. සමහරවිට මතකයෙන් ගිහිල්ලමත් ඇති. ඒත් ඒ මතක මාරයි. ආදරේ කරද්දි ජීවිතෙන් ගියත් ඔයා දාලා යන්නෑ සුදෝ කියපු මටම උන් කොහේ හරි සතුටින් ඉන්නවා ඇති කියලා හිතලා හිත හදාගන්න පුළුවන් එක ඊටත් මාරයි..

ඒත්..හිතේ කොනක තාමත් අර පරණ මතක උණුහුම ඇල්වෙලා හීතලම  වෙන්න කලින් එකම මොහොතකට හෝ හමුවෙන්න තිබුනානම් හමුවෙලා එදා වගේ පිස්සුවෙන් දොඩවලා වෙන්වෙන්න තිබුනානම් කියන සිතුවිල්ලත් නැත්තෙම නෑ..

කසුන් ගයන - චාමින්ද රත්නසූරිය ලියන මේ සිංදුව අහගෙන ඉද්දි අවුරුදු ගාණක ඒ මතක එකතුව අතරේ ආයෙත් මංමුලා වෙන්න පුළුවන්..

අතීතයේ මා පෙම්බැඳි ලියන්ටයි
මේ ගීය ගයන්නේ
හමුවීම් වෙන්වීම් මැද
ආදරයේ බැඳීම් බිඳීම් අතර ජීවිතේ
ළඟ නොරැඳී රැඳී නික්ම ගිය ඒ
සොඳුරු ලියන්ටයි මේ ගීය ගයන්නේ..

Sunday, July 3, 2011

පරණ කතාවක් | An old Story.


අමරසිරි පීරිස් මහත්තයා කියන "මිනිසා..." සින්දුව අහල ඇතිනේ. ලස්සන සින්දුව නේද? ඉතින් ඔය සින්දුව අහන් ඉන්දැද්දි පුතාට කාලෙකට ඉස්සර අහපු චූටි කතාවක් මතක් වුනාලු. 

මේක බොහොම පරණ එකක්. ඇත්තටම සිද්ධ වුන එකක් කියලයි අහල තියෙන්නේ. සමහර විට අහලත් ඇති. අහල නැති අයත් ඇතිනේ. ඔන්න ඔහේ ඕපූ කියලා කියන්ට හිතුවා.. :)

අහල තියේද මේං මේ කවිය,

වනෙත් ගිජිඳාය සිටියොත්                වැනසේය
ළිඳෙත් පනිඳාය බැස්සොත් ඌ                 කාය
අතකින් කරවැලකි අතකින් දඬුවැල්          බෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි             කෑය
 

මේ කවිය බෞද්ධ කථාවක් ආශ්‍රයෙන් බිහිවෙච්ච බොහෝම වටිනා කියන උපදේශාත්මක එකක් බව ඔබ තුමාලා තුමීලා දන්නවා ඇතිනේ. ඈ.. දන්නේ නෑ කිව්වා. එහෙනම් ඉතින් මේන් මේ බ්ලොගේට ගිහින් මුළු ඉස්ටෝරියම දැන ගන්ට පුළුවන් වෙයි.

ඔන්න ඉතින් එකෝමත් එක කාලෙක එකෝමත් එක ඉස්කෝලෙක බුද්ධාගම උගන්වන ගුරුතුමී අටේ පන්තියට ඇවිත් ඔය උඩින් තියෙන කවිය කළු ලෑල්ලේ ලියලා මේ කවියෙන් ළමයින්ට තේරෙන්නේ මොකක්ද කියලා අහනවලු.


ම්හ්.. වෙනදට ක්ෂණිකව උත්තර දෙන පන්තියේ ඉස්සරහා පේළිවලින් කිසිම ප්‍රතිචාරයක් නැතිලු..
 

ප්‍රශ්ණයක් ඇහුවම මීක් සද්දයක් නැති නසරාණියෝ සෙට් එක ඉන්න පස්සහා පේළිවලින් නම් හීන් කසු කුසුවක් යනවලු..

ගුරුතුමීට දැන් සෑහෙන අප්සට්ලු සීන් එකට..
මෙච්චර සරල කවියක්වත් මුන්ට තේරෙන් නැද්ද..
ඔය අතරේ අර නසරාණි සෙට් එකේ ඉන්න ඇම්ඩෙක් අත උස්සගෙන ඉන්නව ගුරුතුමීට පේනවලු...
හ්ම්..ඇති යන්තම් එකෙක් හරි හිටියා.. 

"ආ.. පුතා කියන්ට බලන්ට පුතාට මේ කවියෙන් මොනවද තේරුණේ කියලා.."

"ටීච.. ටීච මට මුළු කවියම තේරෙන්නේ නෑ.. හැබැයි භාගයක් විතර තේරෙනවා..."

"කමක් නෑ පුතා.. කමක් නෑ.. පුතාට තේරෙන ටික කියන්ටකෝ එහෙනම්..."

"ටීච.. ඔය කවියෙන් කියවෙන්නේ නාකි මනුස්සයෙක් ගැන ටීචර්.."


"ඈහ්.. ඔය ළමයා කොහොමද එහෙම කියන්නේ මේක නාකි මනුස්සයෙක් ගැන කියලා.."
කොළුවා දුන්න උත්තරෙන් අවුල් ගිය ගුරුතුමී ආපහු අහනවලු..

"ඔව් ටීච එයා හරි.. නාකි මනුස්සයෙක් ගැන තමා ඔය කවියෙන් කියවෙන්නේ.."
ඒ පාර කොල්ලෝ සෙට් එකම කියනවලු.

මුන් හැමෝම මෙහෙම කියන්නේ මොකද කියල හිතපු ගුරුතුමී ආපහු කළු ලෑල්ල දිහා බැලුවලු...

හපොයි.. 

ගුරුතුමීට කවියේ අන්තිම පේළිය පටන් ගනිද්දි "ම" යන්න වෙනුවට "ප" යන්න ලියවිලා...
Related Posts with Thumbnails