Showing posts with label අම්මා. Show all posts
Showing posts with label අම්මා. Show all posts

Friday, April 3, 2015

මොහිදීන් බායි...


(ඇත්තම කියනවනම්, මේක ලියන්නේ ගිය අවුරුද්දේ සැප්තැම්බර්වල වගේ.. "ජයලලිතා" දූෂන චෝදනාවලට අත් අඩංගුවවට ගත්ත දවසේ.. බුකියේ ගෲෆ් එකක පෝස්ට් කලත් බ්ලොගෙ අප්ඩේට් කරන්න හිතුනේ නෑ.. බ්ලොග් වසන්තයට වැඩ අල්ලන්න කියලා පරණ එකක් වුනත් කාලෙකින් ආවෙ නැතිව පාළුවට ගිය බ්ලොගේ වස් දොස් යන්නත් එක්ක.  ඔන්න ඔහේ ඕපු කියලා චුට්ටක් කපලා කොටලා පෝස්ට් කරනවා... )


තමිල්නාඩුවේ ඈත ගමක තුනේ පංතියට යනකල් විතරක් ඉගෙන ගත්තු වචනයෙ පරිසමාප්තියෙන්ම අහිංසකම මනුස්සයෙක්.. අවුරුදු දහ අට වෙන්නත් කලින් හොර පාස්පෝට් එකක් හදාගෙන ඩුබායි ආපු මනුස්සයා මට මුන ගැහෙද්දි ජීවිත කාලෙන් අවුරුදු තිහකටත් වැඩිය කාන්තාරයටම දිය කරලා දාලා තිබ්බා.. කම්කරුවෙක් හැටියට සොච්චම් පඩියකට ඩුබායි ආපු මනුස්සයා ඒ වෙද්දි මැසෙන්ජර්වරයෙක් හැටියට රස්සාව කරලා ලංකාවේ සල්ලි වලින් ලක්ෂ දෙකකට වඩා පඩියක් ගන්න තරමට දියුණු වෙලා උන්නා..

උපතින් මුස්ලිම් වරයෙක් වුනත් රාමසාන් කාලයට උපවාස නොකරන, පස් වතාව දෙවියන් නොවඳින ඔහු අමුතුම විදිහක චරිතයක්.. වැඩපළෙ කාත් එක්කවත් වැඩි භජනයක් නොතිබ්බ මනුස්සයෙක් වුනු මොහිදීන් බායි මගෙත් එක්ක සුහද වෙන්න ගත්තෙ ලංකාවේ යුද්ධේ නැගලා යන දවස්වල.. ඒ දවස්වල ලංකාවේ අපි කොහොමටත් හිටියේ අඩි දෙක තුනක් ඉහළින්.. තමිල්නාඩුවෙන් ආපු අනිත් මිනිස්සු ලංකාවේ අපෙ මූණ බලලා කතාවත් නොකරන ඒ දවස්වල මොහිදින් බායි ඔහුගෙ කැඩුනු බිඳුනු ඉංග්‍රීසියෙන් අදහස් හුවමාරු කරගත්තා..

යුද්ධෙ ගැන ඔහුට තිබ්බේ මිශ්‍ර හැඟීමක්.. ඇත්තටම කිව්වොත් ඔහුට ඒක අනිත් ඉන්දියානුවන්ට වගෙ දැනුනේ නෑ.. ඔහුට ඊට වඩා ලොකු හීන තිබ්බා.. තමන්ගෙ පුතාව හොඳ විශ්ව විද්‍යාලයකට යවන්න.. දුවට ලොකු දෑවැද්දක් දීලා හොඳ තැනකට බන්දලා දෙන්න වගෙ..

ඒත් ඔහුගෙ ලෝකෙ එකම එක වීරවරියක් හිටියා.. ඒ තමයි ඔහු තමන්ගෙ අම්මටත් වඩා ආදරෙ කරපු මුළු තමිල්නාඩුවෙම "අම්මා" වුනු ජය ලලිතා.. ඇය ඔහුගෙ ලෝකෙ හිටපු එකම වීරවරිය.. වැඩපළේ උන්නු එකම පකිස්තානුවා, සොහෙල් "මොහිදීන් උඹේ අම්මා දුන්නොත් මුළු පකිස්තානෙම උඹට දෙන්නම්" කීම මොහිදින්ගෙ ඉහමොළ රත්වෙන වැඩක් වුනා.. සතියකට දෙකකට වතාවක් සොහෙල්ගෙ පස්සෙන් පන්නන මොහිදීන් සාමාන්‍ය දර්ශණයක්..

ජයලලිතා උඹලට කරපු දෙයක් නෑ, උඹයි උඹේ ජීවිතෙ ගොඩ දාගත්තේ කියලා කොයි තරමට තර්ක කලත් මොහිදින් නෙවෙයි කවදාවත්ම මාත් එක්ක එකඟ වුනේ.. ඔහු විශ්වාස කලෙ ජයලලිතා ඔවුන්ගෙ ජීවිතවල එකම ගැලවුම්කාරිය හැටියට..

අවුරුදු දෙක තුනකට කලින් මොහිදීන් නිවාඩු ගියපු වෙලාවක හදිසියෙම වැළඳුනු හෘද‍යාබාධයක් හේතුවෙන් මියැදුනා.. මං හිතන්නේ ඒක මනුස්සයා හිත සතුටින් ගිය ගමනක් වෙන්න ඇති.. ඒ වෙද්දි තමන්ගෙ දරුවෝ වෙනුවෙන් කරන්න ඕන යුතුකම් වලින් සෑහෙන ප්‍රමාණයක් කරලා තිවුනු හින්දම ඔහුගේ හිතේ ඒ තරම් දුකක් නොතියෙන්න ඇති..

ඒත් අද ඔහු හිටියනම් මොනවා හිතෙයිද..

දෙවියන්ටත් ඉහළින් අදහපු "අම්මා" තමන් වගෙ දුප්පත්තු ලක්ෂ ගාණකට වංචා කරාය කියල පිළිගනීවිද.. දෙවියන්ටත් ඉහළින් අදහපු "අම්මා" තමන් දුක් මහන්සියෙන් හම්බ කරලා යවපු මුදල් වලට වංචා කරා කියලා පිළිගනීවිද.. දෙවියන්ටත් ඉහළින් අදහපු "අම්මා" ටත් වඩා බලගතු ශ්‍රේෂ්ඨධිකරණයක්, බලගතු නීති පද්ධතියක් තමන්ගෙ රටෙ තියෙනවයි කියලා සතුටු වෙයිද..
Related Posts with Thumbnails