නිදහස් දවස එද්දි හැමදාම වගේ මතකයට එන කතන්දර දෙකක් තියේ.
එකක් බෙනට් රත්නායක කරපු හොඳම නිර්මාණය වෙච්ච අස්වැසුම චිත්‍රපටියේ එන සිදුවීමක්. මතකයෙ හැටියට දුප්පත්කමේ අඩියෙම ඉන්න ගැමියෙක් වෙච්ච ජැක්සන් ඇන්තනී පණ පොවන චරිතයේ බිරිඳ ( සංගීතා වීරරත්න ) ට කුළුඳුල් ළමයා හම්බවෙන්න ගිහින් අමාරු වෙනවා. ඒ වෙලාවේ උදව්වක් ඉල්ලන්න ඉන්න එකම මනුස්සයා ගමේ සල්ලිකාරයා වෙච්ච වලව්වේ හාමු ( රවීන්ද්‍ර රන්දෙණිය ) හොයාගෙන රාත්‍රියේ දඹ වැස්සේ ජැකා හති දාගෙන දුවගෙන එනවා. රවින්ද්‍ර දොස්තර කෙනෙක්ද මන්දා ( හරියටම මතක නෑ ). කොහොම වුනත් ජැකා ඒම දුවන් එද්දි වලව්වේ ලොකූ පාටියක්. සුද්දෝ ඒමත් පිරිලා. රවීන්ද්‍ර හොයාගන්න නෑ. සුද්දියක් එක්ක කාමරෙක. වලව්වේ මෙහෙකාරයෙක් කියනවා ඕං ඔය අද සුද්දා මුන්ට නිදහසද මක්කද දෙනවළු ඒකටනේ සාජ්ජේ වගේ කතාවක්. කොහොමින් කොහොම හරි ජැකාට තමන්ගේ දරුවා බේරගන්න බැරිවෙනවා. දරුවා මැරිලා වළදාන්න වළක් කපද්දි මැණිකක් හම්බවෙලා ඉස්සරහට තමයි කතාව දිග හැරෙන්නේ. චිත්‍රපටියකට ගොතපු කතාවක් වුනත් ඒ කාලේ ඉතිහාසය ටිකක් අවුස්සලා බලපුවම තේරෙනවා "නිදහස" කියන එක අපි අපි වගේ එදා උන්නු සාමාන්‍ය ජනතාව ඉල්ලපු දෙයක් තියා ඒක කළුද සුදුද කියලවත් නාදුන්න දෙයක් කියන එක ඊළඟ කතන්දරෙන් පැහැදිලි වෙයි.
මේක අලගල්ල කඳු පාමුල පොත්තපිටිය, මැණික්දිවෙල, තිස්මඩ වගේ ගම්වල නිදහස ලැබුනුදා ඉඳන් අවුරුදු පතා වෙන වැඩක් හතලිස් අටේ කොහොමින් කොහොම හරි ඔය නිදහස දෙනවය කියන හා හූව ඔය ගම්වලටත් ඇවිත් තියෙනවා. ඉතින් කුතුහලෙනේ. අලගල්ලට නැග්ගම කොළඹ ඡායාව වගේ පේනවා. ඉතින් දෙන දෙයක් අපිටත් බලාගන්න ඇහැකි නේ කියලා හිතාගෙන සෙට් එකක් අලගල්ලට නැගලා කොළඹ බලාගෙන බැහැලා. එදා ඉඳන් සිරිතක් විදිහට අදටත් පවුල් පිටින් පෙබරවාරි හතරවෙනිදට අලගල්ල නගිනවා. කන එවුන් කනවා. බොන එවුන් බොනවා. හෙනම ෆන් වැඩක්. පට්ට ආතල් එකක්. උදේම අලගල්ල නැගලා හවස් වෙද්දි කට්ටිය පල්ලම් බහිනවා. ඒත් එදා ඉඳන් අද වෙනකල් බහින කාගෙන් හරි ඇහුවොත් "නිදහස" දෙනවා දැක්කද කියලා කියාගන්න උත්තරයක් නෑ. ඒත් ලබන අවුරුද්දෙත් ආයෙත් "නිදහස" බලාගන්න අලගල්ල නගින එකනම් අනිවාර්යයි. ඒත් තව අවුරුදු සියයකින් ඇහුවත් "නිදහස" දෙනවා දැකපු කෙනෙක් හොයාගන්න වෙන්නෙ නෑ කියන එකත් සිකුරුයි.
-------------
දැන්, අපිට ටීවි එකෙන් පෙන්වනවා "නිදහස" සමරනවා. ගෝල්ෆේස් එකේ ගරු ගාම්භීර විදිහට. අපිට හැකි උපරිමෙන්. ගුවන් හමුදාවෙන් පැරෂුට් වලින් බහිනවා. නාවික හාමුදාවෙන් ඩෝරාවල වැඩ පෙන්වනවා. හමුදාව ගිණි දළු මැදින් පනිනවා. වැඩ කෝටියයි. අපිට හරි සන්තෝෂයි ඉතිම්. ජනාධිපතිතුමා එක්ක රටේ ප්‍රභූමවරු ෆුල් පොෂ් ලයින් එකේ හමුදාවෙන් පිරිනමන උත්තමාචාර පිළිගන්නවා. හෙන ආඩම්බරයක් දැනෙනවා. අපිටත් ලෝකෙ අනිත් එවුන් සමරණවා වාගේම සමරන්න පුළුවන් නේහ් කියලා හිතිලා පපුව පිම්බෙන්න ගන්නවා. හිත ඇතුලේ රත්න දීප ජම්මභූමි ඉඳන් ඉන්ද්‍රචාපගෙ සිංහයෝ වෙනකල් නන්ස්ටොප් වදින්න ගන්නවා.
ඇත්තටම නිදහස සමරනවා කියන්නේ මේකද? සාමාන්‍ය මිනිස්සුන්ට ලං වෙන්නවත් බැරි විදිහට රෝඩ් බ්ලොක්ස් දාලා කවුරු හරි හතුරෙක්ට පේන්න අපේ හයිය පෙන්වන එකද? අණදෙන නිළධාරියා සීරුවෙන් සිටීං-පහසුවෙන් සිටීං කිව්වම ඒ විදිහට හැසිරෙන එකද නිදහස. නිදහසක් කියන්නේ කාට හරි අවනත වෙන එකටද? මොන විදිහේ නිදහසක්ද ඒක.
තමන්ට කැමති විදිහට අතපය හතර දිග හැරලා නිදහසේ හුළං පොදක් වදින්න හොඳම තැන වෙච්ච ගෝල්ෆේස් යන්න බැරි එකට කියන්නේ නිදහස සැමරීමනම් අපි තාමත් ඉන්නේ අර බෙනට්ගේ කතාවේ මෙහෙකාරයා දැකපු "නිදහස" ගැන අයිඩියාවේ නෙවෙයිද?
තවත් අවුරුදු ගාණකටවත් අපි හැමෝම අලගල්ල නැගලා ටීවි එකෙන් නිදහස දෙනවා බලාගෙන ඉමුද?
-------------
නිදහස කියන්නේ මේකද
රොඩ් බ්ලොක් දමා
මැති ඇමැත්තෝ පීඨිකාවේ
උත්තමාචාර ලබන එකටද?
නිදහස කියන්නේ මේකද
ඉහලින් එන අණට
පහසුවෙන් - සීරුවෙන් ඉන්න
හිත හදාගන්නා එකටද?
නිදහස කියන්නේ මේකද
නැන්දා මාමා බලන්ට
යන හැටි පෙන්නාපන් කීවාම
රිලා නැටුම් පෙන්වන එකටද?
නිදහස කියන්නේ මේකද
ගොල්ෆේස් හුළඟත්
තහනම් කරන දවසකටද?
නිදහස කියන්නේ මේකද
අතපය හතරම අකුලාගෙන
ගෙදරට වෙලා හිටු කිව්වම
හා කියන එකටද?
නිදහස කියන්නේ මේකද?
(මේ පද පෙල රුවන් බන්දුජීවගේ "උයනක් කියන්නේ මේකද" නම්වූ විශිෂ්ඨ මල්ටි බැරලයේ ආකෘතියට පෙළ ගැස්වූ බට තුවක්කු වෙඩිල්ලක් බව කරුණාවෙන් සලකන්න..)
නිදහස කියන්නෙ උඹල අපි නිදහස් වෙච්චි එක නෙමේ මල්ලි, සුද්දගෙ පාළනය යටතෙ හිටපු අපේ දේශපාලකයො ඒකෙන්නිදහස් වෙච්චි එක විතරයි.
ReplyDeleteඋන් අරගල කරල ඒක දිනා ගත්තට, අපි සමාන්‍ය මිනිස්සු තාම අපේ නිදහස වෙනුවෙන් කලයුතු අරගලය එහෙමමයි.
This is the best article that I have ever read on the independence day.
ReplyDeleteVery thought provoking!