Friday, June 30, 2017

සිංහල බ්ලොග් කලාවේ ස්වර්ණමය සමය නිමවුනේ ඇයි? WTF has happened to Sinhala blogging

සිංහල බ්ලොග් කලාවේ මනරම්, විචිත්රවත් හැගීම් දනවන යුගයක් විය. බ්ලොග් රචකයින් සේම කියවන්නන්ද එකසේ උද්යෝගයෙන් බ්ලොග් කලාව රසවිදි ඒ ස්වර්ණමය යුගයට කුමක් විනිද? මේ "නොස්ටැලජියාවෙන්" තැවෙමින් තබන සටහනක් නොව කුමක් වුනිදැයි වසර ගණනක නිරීක්ෂණ ලියා තබන උත්සාහයක් පමණය. සිංහල බ්ලොග් සංස්කෘතියේ මනරම් යුගය අහිමිවීමේ දුකක් දැනෙන්නේම නැති තරම්ය. එසේම මේ නවක බ්ලොග්කරුවන්ගේ ලිවීම් දශමයකින් හෝ අවතක්සේරු කිරීමේ උත්සාහයක්ද නොවන්නේය. හුදෙක් මෙය බ්ලොග් ඉතිහාසයේ යම් පරිච්ඡේදයක නිමාව දැකීමට හේතුභූත වුයේ මොනවාදැයි ලියා තබන උත්සාහයක් පමණක්ය.

ලේඛකයා "සිංහල" බ්ලොග් කියවීම අරඹන්නේ 2007 වසරේ අග භාගයේදිය. එවකට සිංහලෙන් ලියන්නන් අල්ප වූ අතර යුනිකෝඩ් භාවිතය පිළිබද බොහෝ කතිකාවන්ද වේදිකාව මත තිබුනි. එසේම එවකට බ්ලොග් සින්ඩිකේට් වූයේ "සිංහල බ්ලොග් කියවනය" හරහා වූ අතර එය සිංහල බ්ලොග් අවකාශය වසා අතු පතර විහිදුනු මහා වෘක්ෂයක් පරිද්දෙන් වැජඹුනු අයුර තවමත් මතකය. අළුතින් අරඹන බ්ලොගයක් "සින්ඩියට" දමා ගැනීම දරුවෙකු පාසලකට දාගන්නා තරම් සන්තුෂ්ටියක් අත් කරදෙන මාහැගි වික්රමයක් විය.

සිංහල බ්ලොග් කලාවේ ස්වර්ණමය සමය සේ සැලකිය හැක්කේ "සින්ඩියේ" පරිපාලකයින් විසින් බ්ලොග් මැරතන් තබා ලබා දුන් උත්තේජනයන්ගෙන් පසු ඉතා රසට ලියන බ්ලොග් පොකුරක් ලියැවුන 2009-11 අතර කාල සීමාව බව ලේඛකයාගේ අදහසයි. නමුත්, ඉන්පසුව ඉතාම ශීඝ්රයෙන් බ්ලොග් ජනප්රියත්වය නාය යන්නට පටන් ගන්නීය.

බොහෝමයක් බ්ලොග්කරුවන් අතර ජනප්රිය අදහසනම් බ්ලොග් වැටෙන්නට ප්රධාන හේතුව සමාජ ජාල ( විශේෂයෙන් ෆේස්බුක් ) අත්කරගත් ජනප්රියත්වය බවය. එය බ්ලොග් රචකයින්ද පාඨකයින්ද ගොදුරු කරගත් බවය. ටෙලිවිෂනය සිංහල සිනමාවට අත්කරදුන් ඉරණමම ෆේස්බුක්, බ්ලොග් අවකාශයට අත්කර දුන් බවය. බැලූ බැල්මට ඉතා සාධාරණ කතාවක් බව දැනුනද තිරයෙන් පිටුපස සහ දෑස් ඉදිරියේම බ්ලොග් පල්ලම් බැසීමට හේතුවූ බොහෝ දෑ රග දැක්වුනිය. මේ ලේඛකයා එසේ හදුනාගත් මහා හේතු කිහිපයක සංක්ෂප්තයයි.

 මූලිකම හේතුව අන්‍යොන්‍ය ( ඉස්පෙලින් හරිනේ ) පිට කසාගැනීම් වැඩිවීම. කමෙන්ට් බෙදා ගැනීම. .
මගෙන් එයාට පට්ට එකයි.
එයාගෙන් මට බෙට්ට එකයි.

ඉන් පස්සේ සීනියර් ජූනියර් භේදය වැඩේ තවත් චොර කලා.
පරණ අයියලා අක්කලා අළුත් නංගිලා මල්ලිලාට උපදේශන නිකුත් කරන්න ගත්තා.

ආය ලියන්න ගත්තම අර අළුත් වාහනේ අරන් කතරගම ඉදන් පිටියේ දේවාලෙට යනවා වාගේ හැට හුට හමාරක් සින්ඩිවලට බාර ඔප්පු කරන්න, පිං පමුණුවන්න ගත්ත එකෙන් බ්ලොග් ලිවීම ජෝක් එකක් වුනා..

ඉන්පස්සේ බ්ලොග් ලෝකයේ සුද්ධෝදනලා, සාස්තරකාරයෝ, බඩුකාරයෝ ( ( නම් ගම් අවශ්‍ය නෑ මයේ හිතේ )අරුන් මුන් මිනිස්සුන්ගේ හොද හිත උන්ගේ වාසියට පාවිච්චි කරන්න ගත්ත එකෙන් බහුතරයක් මිනිස්සු කලකිරෙන්න ගත්තා. ( ඇත්තටම බ්ලොග් ලියපු වැඩි දෙනෙක් වයස ගියාට සමාජයේ ඇට්ටර නොවුනු බබාලා. ඒක අර මරිසියන්ට නිධානයක් පහල වුනා වගේ වුනා )

ඉන් පස්සේ එක එක කල්ලි හැදුනා. පුද්ගලික ගැටි වෙනුවෙන් තර්ඩ් ක්ලාස් රන්ඩු සරුවල් වලට ගියා. පොඩි එවුන් නෙවෙයි තලත්තෑනි බ්ලොග් ලිවීමෙන් පාඨකයෝ අතරේ ගෞරවයක් දිනාගත්තු මිනිස්සු මේ. මුලදි පොප් කෝර්න් ලග තියාගෙන බැලුවත් පස්සේ පස්සේ මිනිස්සුන්ට මේ නරි නාඩගම් එපා වුනා.

ඒත් එක්කම අර හොරු, පඩ කණ්ඩායම්වලට ගහන්න ඇනොනිමස් මඩ බ්ලොග් බිහිවුනා. ඒකෙන් බ්ලොග්වලට තිබුනු කීර්ති නාමය, පාඨක කැමැත්ත තවත් කුඩු වුනා.

ආහ් 2011 ජනාධිපතිවරණෙන් පස්සේ පට්ට දේශපාලනික බ්ලොග් රොත්තක් පිටින් ආගිය අතක් නැතිවීමත් බ්ලොග්වල බිද වැටීම ඇරඹෙන්න හේතුවක් වුනා..

ඉතින්, අවසානයෙදි බ්ලොග් කලාවට ටෞකණ්ඩ දේව බැල්ම ලැබුනා.

කෙසේ නමුත් දැන් දැන් නැවතත් බ්ලොග් ලිවීම අළුගසා නැගිටින සේයාවක් පෙනෙන්නට තිබීම සතුටක් බවත් පෙර සිදුවූ වැරදි නොවී සුබ ගමනක් යා හැකි යැයිද සිතමු.

ප:ලි-
ෆේස්බුක් පෝස්ටුවකට දැමූ කමෙන්ටුවකින් පසු බ්ලොගයේ ලියා තැබීමද සුදුසුයැයි සිතුනු හෙයින් මෙසේ සටහන් කර තැබිමි.

Related Posts with Thumbnails