Friday, February 24, 2017

චතුර, ළහිරු වීරසේකර සහ අළුත් ලෝකයක් ( Incomplete Thoughts )

පහුගිය දවස් කීපයේ ෆේස්බුක් පත්තු කල මාතෘකාව වුනේ චතුරගෙ වික්‍රම. චතුර හින්දා බොහෝ දෙනෙක්ගේ මිදිලා ගල්වෙලා තිබ්බ නිර්මාණශීලි අදහස් දියවෙලා බුකියේ පිටාර ගලන්න ගත්තා. අපේ යාළු චාමි සෑම්ගේ වචනවලින් කිව්වොත් "බුකියේ දහ දෙනෙක් ගත්තොත් නම දෙනෙක්ම කතා කරන්නේ චතුර සේනාරත්න ගැන. ඉතුරු එක්කෙනා චතුර ගැන කතා නොකරන්නේ එයා ගොළු නිසයි. හතුර රැල්ලක් නෙවෙයි කැරැල්ලක් වුනා. චාපා බන්ඩාරගේ ඉන්සයිට් වැඩ සටහනින් පටන් අරන් බීබීසියේ අසාම් අමීන් එක්ක ෆේස්බුක් ලයිව් ෆීඩ් එකක් දීලා. චතුරගේ හැසිරීමේ තමන්ව රටක් ඉදිරියේ අවමානයට පත් වුනාය කියන පසුතැවිල්ලක සේයාවක් තිබුනේ නෑ. ඔහු පුදුමාකාර උද්දාමයකින් හැසිරුනේ. ලයිව් ෆීඩ් එකේ වැටෙන "හාහා" ඊමොජි වැස්ස දැක්කම එයා තවත් කුල්මත් වෙන්න ඇති. නොදැන හෝ බුකිය පාවිච්චි කරන බහුතරයක් දෙනා ( අපිද ඇතුළුව ) චතුරගේ දිගු කාලින සැලසුමක මුල් පියවර ගොඩ දාගන්න උදව් වුනා. දැන් අනාගතයෙදි චතුර කිව්වම නොදන්න එකෙක් හොයාගන්න වෙන්නේ නෑ. කතා දෙකක් නෑ චතුර ජෝක් එකක්. චතුරත් ඒ ගැන නොදන්නවා නෙවෙයි. ඒකයි එයා එයාගේ තාත්තා සංරක්ෂණය කරපු විජය කුමාරණතුංග දේශපාලන සලකුණු ඕං මගේ වැඩ කියලා අමීන් ඉස්සරහා පෙන්වන්නේ. සාමාන්‍ය බුද්ධිය තියෙන ඕන කෙනෙකුට තේරෙනවා මූ කරන්නේ හෙන ජෝක් එකක් කියලා. ඒත් ආය ආයෙත් අපි එයාගේ ජෝක් එක ප්‍රොමෝට් කරන්න පෙළඹෙනවා. ඒකට චතුර තරහා නොගෙන අපිට වඩා සද්දෙට හිනාවෙනවා. ඇත්තටම ජෝක්ස් එක මනාප හැත්තෑ දාහක් අරන් පාර්ලිමේන්තුවේ ඉඳගත්ත චතුර නෙවෙයි.. එයාව යවපු අපි. කවුරු හරි කියයි ගම්පහ එවුන් තමා ඌ යැව්වේ කියලා. නෑ මුළු ලංකාවම ගම්පහ තමයි. චතුර ඒක දන්න හින්දමයි ලංකාවටම පෙනෙන්න අපි ඉල්ලන මෝඩ පාට් එක ඇක්ට් කරන්නේ. ඉතින් මේ සිද්ධි බලාගෙන හිතද්දි හිත අකමැති ඒත් මොළේ ඇනලා පෙන්වන යතාර්තයක් දැනෙන්න ගන්නවා. දේශපාලනයෙදි ජෝක්ස් සිරාවීම ඉතාම සාමාන්‍යයයි. කවුරු හරි 2007 මේ දවස්වල කිව්වනම් ඩොනල්ඩ් ට්‍රම්ෆ් තමයි තව අවුරුදු දහයකින් එක්සත් ජනපදයේ ජනාධිපති කියලා ඒක බඩ අල්ලගෙන පස්ස පැත්තෙන් හිනාවෙන තඩි ජෝක් එකක්. එයා ඊළඟට එළඹෙන මෝඩයගේ දවසෙදි මෝඩම ක්‍රීඩාවක් වෙන රෙස්ලින් වලල්ලෙදි ඩබ්.ඩබ්.ඊ අයිතිකාරයා වෙච්ච වින්ස් මැක්මෝහන් එක්ක ෆයිට් කරන්න නියමිතයි. ඉතින් ඒම කෙනෙක් කෝමද උට්ටෝ අපේ ජනාධිපති කරවන්නේ කියලා සමාර විට ඇමරිකන්කාරයෝ අල්ලගෙන ගහන්න වුනත් තිබ්බා. ඒත් ජෝක්ස් සිරා වෙනවා.

--------------------

මුහුණු පොතේ මිත්‍රයෙක් වෙච්ච මිහිඳු ඉඳුනිල් කෙසඟ රැවුල වවාගත්ත කොළුවෙක්ගෙ පිංතූරයක් ෂෙයාර් කරනවා. "මම අන්තරේ රසිකයෙක් නේමේ. ඒත් මේ පොඩි එකාගේ පෞරුෂයට ගරු කරන්න හිතෙනවා!" කියන ටැග් එකත් එක්ක. මිහිඳු හිතලම කලාද දන්නේ නෑ.  ඒ ෆොටෝවෙ කොළුවගේ අතේ තියෙන්නේ "එපා" කියලා ලියපු පටියක්. ඒක මිහිඳුවගේ ටැග් එකත් එක්ක පට්ට කතාවක් හදනවා.  ඒක වැටුන සැනින් තවත් මූණු පොතේ සරන ළහිරු වීරසේකර ( ආහ් ඌ තමයි ෆොටෝවේ ඉන්නේ ) ගේ ඉස්කෝලෙම සම වයස්වලම ඉගෙන ගත්තු වයසට වඩා මෝරපු එකෙක් වෙන ප්‍රභාත් විතානගේ " අනේ **හන් බන්... උඹලට අසූචි වුනත් රත්තරන් කහිනකල් " කියනවා. ඒක චතුර සේනාරත්නගේ ගොන්පාට්වලටවත් නොආපු හෙන සැර ප්‍රතිවිරෝධයක්. ප්‍රභාත්ට අර පාරට බැහැලා ගිරිය කඩාගෙන කෑ ගහන එකා අසූචි ගොඩක් වගේ පේනවා. දැක්ක ගමන් එක පාරටම ඒක ෂොක් එකක් වුනා. ඒත් සිහි එළවාගත්තම යතාවබෝධය එන්න ගත්තා. මට චතුරයි - ළහිරුයිට වඩා ලඟ සම්බන්ධයක් ප්‍රභාත් සහ ළහිරු අතර හැදෙන්න ගත්තා. ප්‍රභාත් කියන්නේ සෑහෙන හොඳ සමාජ කියවීමක් තියෙන වයසට වඩා මුහුකුරා ගිය දැනුමකින් සන්නද්ධ තරුණයෙක්. තමන්ගේ ජීවිතය හරි පිළිවෙලකට හදාගන්න පදනම දාගෙන ඒ අනුව වැඩ කරන ගමන් බුකියේ සෑහෙන විදග්ධ අදහස් දක්වන තරුණයෙක්. ළහිරු තමන්ට නිදහස් අධ්‍යාපණයෙන් ලැබුනු අවස්තාවත් අහිමි කරගෙන පාරට බැහැලා අනිත් එවුන්ගේ අයිතිවාසිකම් ගැන කෑ මොරදෙන සාමාන්‍යය මිනිහෙකුට මළාට ජීරණය නොවෙන අමුතු ජීවියෙක්.වෙනම පාරවල් දෙකක ඇවිදින සමවයස් තරුණයන් දෙන්නෙක්ගෙන් තමන්ගෙම ගමනක් යන එකාට අනිත් එවුන් වෙනුවෙන් පාරට බහින එකාව අසූචි ගොඩක් වගේ පෙන්නෙනේ ඇයි. ( මෙතන ළහිරුලා අන්තරය හරහා කරගෙන යන වැඩ හරියි කියලා ප්‍රවාදයක් හදනවා නෙවෙයි. පුද්ගලිකව මට කොහොමටත් අන්තරේ මැදිහත්වීම් සෙට් වෙන්නෙම නෑ. අමු ගොබ්බයි. කුහකයි. ) වෙන්නේ ප්‍රභාත්ට නොතේරන කලාපයක ළහිරුලා හැසිරෙනවා. ළහිරුගේ ඇඟේ නරකම තැන්වල ගැට්ටේ සාමාන්‍යය මිනිස්සුන්ට නැති අමාරුකම් තියෙනවා. එහෙම මිනිස්සු අති දුර්ලභයි. ඒවා කෘතිමව නිර්මාණය කරන්න ලේසි චරිත නෙවෙයි. විශේෂයෙන්ම මේ වගේ අති වේගවත් ධාවනයක යෙදෙන ආර්ථික සමාජයීය පසුබිමක්. මීට කලින් පරම්පරාවල එහෙම බිහිවුනු අරිශ්ඨ වගේ එවුන් බහුතරයකට වුනේ ටයර් මාල දාගෙන අන්තිම හුස්ම ගන්න. රටක් ඉස්සරහට යන්න එහෙම අමාරු හැදුන එවුන් නැතිව බෑ කියන එක අර අහිමි වීමේ කාලයන්ගෙන් පස්සේ රට දිහා බැලුවම තේරුම් ගන්න පුළුවන්. රටක දියුණුවට අපි වගේ හාන්සි පුටුවට වෙලා විචාර දෙන බයිලාකාරයන්ට දෙන්න පුළුවන් ගැම්ම අවමයි. වෙන්න ඕනා අර වගේ ගැට්ටේ අමාරු තියෙන එවුන්ගෙන් හරියාකාරව වැඩක් ගන්න පුළුවන් ක්‍රමවේදයක් හදන එක මිසක උන් අසූචි ගොඩවල් කියලා  කුණු ගොඩට විසි කරන එක නෙවෙයි.

--------------------

නාසා එකෙන් ජීවය පවතින්න පුළුවන් පරිසර සාධක තියෙන අළුත් ලෝකයක් හොයාගන්නවා. ඒක අපිට සෑහෙන දුරයි. ඒක අපේ හිරු, බොරු, නෙත් වගෙ අටෝරාසියක් ගොසිප් සයිට්වලින් දුන්නේ හරියට හෙට අනිද්දට ඕං පිටසක්කලයෝ නෑගම් එයි ඈ වගේ ගොන් කතාවකින්. ඒවා දැකලා හිනාවක් දාලා අමතක කරන්න හිතුනත් මිනිස්සු ඒ ගොතන කතා සිරා ගන්න විදිහ දැක්කම මොන ජීවිතද අප්පා මේ කියලා හිතෙනවා. ඉංග්‍රීසි චුට්ටක් එක්ක චූටි ගූගල් දැනුමක් තිබ්බනම් ඔරිජිනල් නාසා සයිට් එකෙන්ම ප්‍රවෘතිය කියවලා තහවුරු කරගන්න ඕන තරම් පුළුවන්කම තියෙද්දි අපේ අය අර තඩි පචේට ආශාවෙන් ඇන්දෙනවා. ඉතින් අළුත් ලෝකේ තියෙන්නේ ආලෝක වර්ෂ හතලිකට එහා. ඒ කියන්නේ අපිට පේන්නේ අවුරුදු හතලිහකට කලින් ඒ ග්‍රහ ලෝකවලින් පරාවර්තණය වුනු එළියක්. ඒකෙන් තමා නාසා එකේ අය ඒ ලෝකය දැක ගන්නේ. ආලෝකයේ වේගය ගැන සරල අදහසක් ගන්න ඕනනම්  මෙහෙම හිතන්න. අපි ආලෝකයේ වේගෙන් පෘතුවිය වටේ ගියොත් තත්පරයක් ඇතුලේ වට අටක් ගහන්න පුළුවන්. හිතාගන්න පුළුවන්නේ අළුතෙන් හොයාගත්ත ජීවය තියෙනවයී කියලා අනුමාන කරන සෞරග්‍රහ මණ්ඩලයට අපේ ලෝකේ ඉඳන් තියෙන දුර. මේ තියන තාක්ෂණයත් එක්ක ලොවෙත් අපිට හිතාගන්න බෑ ඒක අහලකටවත් යන්න පුළුවන් වෙයි කියලා. ඒත් ලෝකය ඒ දේවල් ගැන මාර උනන්දුවකින් ඒවා ගැන හොයනවා. අපි මේ විශ්වයේ තනිවෙලා නෑ නේද කියන එක තහවුරු කරගන්න පට්ට ගේමක් දෙනවා. ඒ ගේම් මිනිස් ජාතිය ගැන අළුත් බලාපොරොත්තු ඇති කරනවා. ආලෝකමත් හෙට දවසක්, එකම මානව ජාතියක් ගැන බලාපොරොත්තු දල්වනවා. ඒවා කෑගැහෙන තරම් සිරා වැඩ. ඒ අතරේ අපි රටක් විදිහට චතුරලාට ඕන විදිහට ජෝක්ස් වෙනවා. ළහිරුලාගෙන් ගේම ඉල්ලනවා. මදි පාඩුවට ඉස්කෝලේට ආදරේ කරන එක හොඳද නරකද කියලා හරි පටලැවෙනවා. ඔහොම බලාගෙන යද්දි එපා වෙනවා. ඒත් හෙට ආය බුකිගත වුනාම ආයෙත් සුපුරුදු විදිහට රැල්ලට අහුවෙලා හූ කිය කිය ආතල් ගන්නවා.  :D

1 comment: