Sunday, January 29, 2017

ඉත්තෝ ( කෙටි කතාවකි ) - පළමු දිග හැරුම

විජිත් ප්‍රසන්න නැවතත් ඒ විකාර හීනය මැදින් පහළට වැටුනේය. මෙවරනම් සැබෑවටම ඇඳපල්ලේම වැටුනේය.

යුරෝපයටම බලපෑ අනපේක්ෂිත කාළගුණ විපර්යාසය ඒ ජනේරුවේ පැරිසියේද ඇටමිඳුළු පසාරු කරමින් තිබුනමුත් විජිත් විසිවසකට පෙර කල්පිටි වෙරළ තීරයෙන් ස්වයං පිටුවහලට ලක්වූ දිනයේ තරමට ඉහින් කනින් දහඩිය වගුරමින් සිටියේය. මිනිත්තු දෙක තුනක් ඇවෑමෙන් සිහි එලවා ගැන්මට පිහිටට ආවේ කවුළුවෙන් විත් තමාටත් හොරෙන් සිමෝනෙගෙ වත සිඹින හීනි ආලෝකයයි..

මුලදි මසකට වරක් දෙවරක් හිත සොලවා දමන එකම හීනය දැන් දැන් දිනපතා විජිත්ගෙ හිත සොලවමින් බියපත් කරන්නේය. කලක් ප්‍රීති ප්‍රමොදයට පත්කල එම ක්‍රීඩාවම විජිත් පසුපස එලවමින් පෙලන නපුරු හීනයක් වීම හෙතෙම අවුලෙන් අවුලට හෙලන්නේය. "ජීවිතේ එහෙම තමා. කාලෙකදි හිත සතුටින් පුරවන දේවල් තවත් කාලෙකදි හිතට දුකක්ම ගේන්න පුළුවන්". ඩිකැන්ටරයෙන් වීදුරුවකට පුරවාගත් ස්කොච් උගුරක් ආමාශගත කරන විජිත්ට කොහෙදි හෝ කියවූ කියමනක් මතකයෙ ඇඳී ගියේය.

 හෙටම බන්ධුවාට ස්කයිප් කරන්න ඕනෑ. විජිත් සිතාගත්තේය.
--------
දේශබන්ධු වික්‍රමතිලකද විජිත් ප්‍රසන්නද දාම් ක්‍රීඩාවේ තකට තකය.

" දාංඔලටට වෝර්ල්ඩ් කප්පෙකක් තිබ්බනම් ඔය මට්ටයොන්ට කලින් අපේ කොල්ලෝ දෙන්නා වොර්ල්ඩ් චැම්පියන්ස්ලා බොලව්."  මොහමඩ් ලාෆීර් බිලියඩ් ලෝක ශූරතාව දිනූ කාලයේ තැපැල් මහත්තයා කජුගහමුල කඩේ ලඟදී දේශබන්ධුත් විජිත් දෙසත් සාඩම්බර බැල්මක් හෙලමින් කිව් මොහොත අදටත් විජිත්ගේ පපු කුහරය පුම්ඹන සුළු හැඟුමක් දනවන්නේය.
සමවයස් ගජමිතුරන් වු දේශබන්ධු සහ විජිත් කිසිදිනක අනෙකාට අභියෝග කරන්නට නොගියෝය. වයසින් කුඩා වුවද කඩපිලේ දවසම ටැග් ගැහෙන මහ මිනිස්සුද උන් දෙදෙනා පොරට නොදැමීමට අප්‍රකාශිත එකඟතාවයකට එළඹී සිටියහ..
_________
උසස් පෙළ උසස් ලෙස සමත් වූ විජිත් පේරාදෙණියෙන් බී.ඒ. ගෞරව උපාධිය ලබා ගමට එද්දි දේශබන්ධු කොතලාවල ඇකඩමියෙන් පිටවන්නේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන ලුතිනන් වරයකු ලෙසය.
________
තරුණ විජිත් ප්‍රසන්න කිව හැකිව තිබූ කතාව...

ඒ පංති අරගලය පිපිරුනු දෙවන කාර්තුවයි. මට ඕනනම් ගුරු පත්වීම් කට්ටක් අරන් පැත්තකට වෙන්න පුළුවන්කම හොඳටම තිබුනා. ඊට පස්සේ සිවිල් සර්විස්..  ඒත්.. ඒත්...මට එහෙම අරගලය පාවලා දෙන්න හිත හදාගන්න බැරිවුනා. හිත හදාගත්තත් පක්ෂෙන් එහෙම ලේසියෙන් ඒකට ඉඩක් ලැබෙන්නෙත් නෑ කියලා මං දැනන් හිටියා. ( කිචේට හිනා වෙන්නේ මොකෑ. මගේ තුන් හිතකවත් විප්ලවෙන් පැනලා යන අදහසක් තිබ්බේ නෑ ඕයි..ඔය තිබ්බ තත්වේ ගැන කිව්වේ. අනික මහනුවර දිස්ත්‍රික්කේ හොඳම වැඩ්ඩෝ පස් දෙනාගෙන් එකෙක් කියලා නායක සහෝදරයා මං ගැන කිව්වලු... ) මිනිපේ පළාතෙම වගකීම පැවරිලා තිබ්බේ මට. දිස්ත්‍රික්කෙම වැඩිපුර ගොවියෝ ඉන්න පළාතම බාරදුන්නේ පක්ෂෙ මං ගැන ලොකු වගකීමකින්. ගොවියෝ තමයි විප්ලවයට ජීවන හුස්ම පිඹින්නේ. නායක සහෝදරයා කිව්වේ එහෙම.

දෙවන ලුතිනන් දේශබන්ධු වික්‍රමතිලක කීවානම් කියන කතාව...

අප්පාහ්.. මටත් ඇකඩමියෙන් අවුට් වෙන්න සැට් වුනේ නියම කාලේ ඈ. එහෙන් උතුරේ ටෙරාලා. මෙහෙන් අපෙ එවුන් පොල්පිති විප්ලවේ. සෙබළෙක්ට රට ජාතියට යුතුකම් ඉෂ්ට කරන්න මීට වඩා චෑන්ස් ලැබෙයිද. නෑනේ. නෑනේ. අනික හරියාකාරව වැඩ පෙන්නුවොත් ඉතින් සට සට ගාලා රෑන්ක් වදින්නේ. මං හිතාගෙන හිටියෙ ඩෙන්සිල් කොබ්බෑකඩුව සර් වගේ වැඩ්ඩෙක් එක්ක වඩමාරච්චි වගේ ඕෆ් එකක් සෙට් වෙයි කියලා. මේකත් අවුලක් නෑ ඉතින් පටන් ගැම්මක් හැටියට. අනික කෙසෙල්පොත කෑම්ප් එකේ ලොක්කත් සුපිරි පොරක් තමයි. මේජර් ඇඳලා තියෙන්නේ වැඩ පෙන්නලාමයි. අනික දන්න කියන පැත්ත හින්දා ජොබ් එක සෙට් වෙනකල් මේකත් හොඳා.. ( ඈහ්.. උතුරට යන්න බයේ බයිලා ගහනවා කියලද හිතේ. මේ වික්‍රමතිලකලා මැරෙන්න බය නෑ ඩෝ. රට ජාතිය වෙනුවෙන් බොක්ක වුනත් ගලවලා දෙනවා. ඒමයි. )
_________
සෙකන්ඩ් ලෙෆ්ටිනන්ට් දේශබන්ධු නොකිවු කතාව...

මේජර්ගෙ මූණ දකිද්දිම මට තේරුණා කෙලියක් කෙලවෙන්නම තමා යන්නේ කියලා. ඒත් කව්ද හිතුවේ මෙහෙම මරාලයක් කඩා පාත්වෙයි කියලා. මිනිහා නම් ලිස්ට් එක අතට දීලා මගේ මූණ දිහා නොබලම ඉඳ ගත්තා. මූණ නොබැළුවට මිනිහගෙ ඇස් තිබ්බේ මගේ අත්දෙක දිහාටම ෆෝකස් වෙලා කියලා මට දැනුනේ පස්සේ. බොරු කියන්න ඕන නෑ. මොන දහං ගැටය ගහලා හරි වෙනසක් නොපෙන්නා ඉන්න හැදුවත් දෑතම වෙව්ලලා ගියා. මිනිහෙක්ගෙ වෙනස්කම් හොඳටම බලාගන්න පුළුවන් හොඳම එකක් තමා අත් දෙක. මේජරයම පස්සේ දවසක අඩියකට සෙට් වෙද්දි කිව්වා. විජිතයගෙ නම ලිස්ට් එකේ මුලම. හයිලයිට් කරලම. ඕකා පිස්සෙක් වගේ විප්ලවේ කරන්න ගියා වුනත් මෙච්චර දරුණුවට දැනෙන තරම් පිස්සුවක් කෙලියි කියලා හිතුනෙම නෑ. මට නේද.. සෞරග්‍රහ මණ්ඩලේම ඔළුව වටේ කැරකෙන ගාණයි. මේජරයා අපි දෙන්නා කව්ද කියලා දන්නවද??? ඊළඟ තත්පරේම ඔළුවට ආවේ ඒක. හිත හිත ඉන්න වෙලාවක් තිබ්බේ නෑ. මිනිහම ඒක කිව්වා.

ඊළඟට මට හිතුනෙ මිනිහගෙ ඕඩර් එක අපේ එකාටත් මාලයක් දාලා වෙන එවුන් වගේම රන්දෙනිගල පැත්තේ සෑයක් දාපන් කියයි කියලා.. මොකින් මොකක් වෙයිද කියන උභතෝකෝටිකය ඔළුව අස්සේ පොළා පනින්න ගනිද්දි තමයි මේජරයා මං හීනෙන්වත් නොහිතපු යෝජනාව ගෙනාවේ... උන්නු විදිහට මළා මදෑ.. යන්තන් හුස්මක් වැටුනේ ඒක ඇහුවට පස්සේ..

විප්ලවීය නායක විජිත් ප්‍රසන්න මළාට නොකියන කතාව..

ඒ වෙද්දි දහ අට වංගුවෙන් පල්ලෙහා අපි හොල්ලගෙන හිටියේ. සංවිධානෙට අළුතින් කොල්ලෝ කෙල්ලෝ බන්දා ගන්න එක හිතුවට වඩා ලේසි වුනා. ජනපද හදලා පස්සේ කාලේ අඳේ කරන්න ආපු පවුල්වල දෙවැනි පරම්පරාවේ එවුන්ට එපා වෙලා හිටියේ. අනික ජනපද හදන්න අනාථයෝ වගේ ආවට එන ගමන් පරණ ගම්වල තිබ්බ කුලභේදෙත් කරේ තියාගෙනම ඇවිත් තිබ්බ හින්දා අපේ ජාතියේ එවුන් කොහොමත් පැහැව පැහැව හිටියේ. අළු යට තිබ්බ ගින්න පොඩ්ඩක් පිඹලා මතුකරගන්ට විතරයි තිබ්බේ. පක්ෂේ ඉහලින්ම මගේ නායකත්වය ගැන පැහැදිලා හිටියේ. වෙලාව එනකල් රෙඩි පිට ඉන්න තමයි අපිට තිබ්බේ. එකම අවුලකට තිබ්බේ ශාන්තයටත් මෙහෙටම ඩියුටි වැටුන එක. නොදන්නවා නොදන්නවා වගේ හිටියට ඌ මං සම්බන්ධයි කියන එක මුල ඉඳන් දැනගෙන හිටියා. හැබැයි අපරාදේ කියන්ට බෑ කවදාවත් ඕකා මගෙන් ඒ ගැන නිකමටවත් අහන්න ආවේ නෑ.

ඒත් ලෝකෙම ඔළුව උඩට කඩා පාත් වුනා කියලා දැනුනේ ශාන්තයා එදා රෑ හොරෙන්ම අපේ ගෙදර ආව දවසේ. කියන්න කලින්ම දැන ගත්තා හරියාකාරාව කෙලවෙලා කියලා උගේ මූණ දකිද්දි. උගේ ප්ලෑන අහද්දි අම්මපා දෑත බදලා ඔළුවට මන්නා පාරක් දෙනවා වෙන එකෙක් වුනානම්. එච්චරකට යක්ෂයා ආවේශ වුනා. ඒත්.. ඒත්.. ඌ කිව්ව විදිහට මං ඒ වෙද්දි කර මුලින්ම හිර වෙලා ඉවරයි. වැඩිය දඟලන්න ගියොත් වෙන්නේ මන්ද තවත් හිර වෙන එක. ඌ පණිවිඩේ කියලා ගියාට පස්සේ නිදි පැදුරේම කල්පනා කරලා කරලා එළිය වැටෙද්දි මට තේරුනා.තිබ්බේ තෝරා ගැනීම් දෙකයි. එකක් උට අවනත වෙන එක. නැත්තන් බල්ලෙක් වගේ පාරේ මැරිලා යන එක. (එන  ඕන දේකට සූදානමින් තමයි වැඩේට බැස්සේ. ඒත් මං මැරිලා හම්බවෙන විමුක්තිය මොකක්ද.. හිනා වෙන්ට එපා.. මරබිය දැනුනොත් ඔහෙටත් දවසක ඒක තේරෙයි.. )

---------
එදා රැයේ දේශබන්ධු සහ  ව්ජිත් හමුවෙන් පසු ඉඑතෙක් දිවයිනේ සාර්තකම සංවිධානයක් වූ කන්දෙන් පහළ කණ්ඩායම දිනෙන් දින දුර්වල වූ වගත් සියළු මෙහෙයුම්වල මහ මොළකරුවූ විජිත් හැරෙන්නට විප්ලව කරුවන් එකා පිට එකා අත් අඩංගුවට පත්වන්නට වූ බවත් මතක් කිරීම යුතුකමක් බව සිතමු.

"ප්‍රංශ දාම්" ක්‍රීඩාවෙන් ජය ලබන්නට අසීරුම නැත. අවශ්‍යතාවය ප්‍රතිවාදියාට තමාගේ ඉත්තන් බිලිදීම පමණය.

මතු සම්බන්ධයි.....

3 comments:

  1. නියමයි. ඔහේ නොදන්නවට මං ඉස්සර මෙහ ආව ගියා. නැවත ලිවීම සතුටක්

    ReplyDelete
  2. බස්සා...
    ඉස්තූතියි. මොකෑ අපි මැරිලා ඉපදුනයි අමතක වෙන්න. :D මතකයි මතකයි.

    ReplyDelete
  3. මල්ලි, කාරණා දෙකක් ගැන මට සතුටුයි. එක බ්ලොග් එක ආපහු ලියන. දෙක මේ කතාව රීරයිට් කරපු එක. :)

    ReplyDelete