Tuesday, December 21, 2010

ලව් ඉස්ටෝරියක් (වගෙ එකක්...)


පුතාගේ මූඩ් එව්වා එක මේ දවස්වල මෙලෝ රහක් නැත.හරියට කියනවානම් පතෝල වගේය. ලියා ඩ්‍රාෆ්ට් කර ඇති පෝස්ටුද දහයක් පහලවක්ම ඇති මුත් ඒවාද ෆබ්ලිස් නොකරම ඔහේ වේලෙන්ට තබා ඇත.ඒවා මොඩිෆයි එකක් නොකර බ්ලොග් අවකාශයට අත හැරීම කියවන ඔබතුමාලාගෙ තුමීලාගෙ වටිනා කියන කාලයට පාඩුවකි.(කලින් ෆබ්ලිස් කොරාපු ඒවාගෙනුත් වුනු අහවල් සෙතක් නැති බව ඇත්තය.) මේවා ඊටත් එහා අමු චාටර්ය.

හැමදාම බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන බ්ලොග් කියවා කමෙන්ටු ලිව්වත් ඒව නොදැමු අවස්ථා දැමූ ඒවාට වඩා බොහෝ වැඩිය. අහවල් එකක් වුනාදැයි නොතේරුනත් කුමක් හෝ මඟුලක් සිද්ධ වී ඇත. 

පුතාගේ යාළුවන් කියන්නේ නම් නිසි වයසට කරුණු කාරණා සිදු නොවුනාම ඔහොම අඤ්ඤ කොරොස් මූඩ් එන එක සාමාන්‍ය සිද්ධියක් බවය.උන් එහෙම කීවාට පුතානම් ඕවට අහුවෙයිළුය... 

කොහොම වුනත් මේ දවස්වල රංගගේ මගේ ලෝකයෙත්.. දිනේෂ්ගේ අකේලේ හම් එකෙත් ගොල්ඩ් ෆිෂ්ගේ මාළු ටැංකියෙත් ලියවෙන ආදර අන්දර කියවද්දි පුතාට අනේ අපොයි කියවෙනවාළුය... හැඳුනුම්පත කීක් ගෑවෙනවාය... ඒ පුතාගේ අතීත චිකිරිබිරිස් මතක් වෙද්දිලුය... 

ඔන්න ඔහේ ඕපූ කියලා ඒවායින් එකක් දෙකක් ලියල දානවය කියලා පුතා අන්තිමට තීරණය කරාලුය... ඔන්න ඉතින් එව්වගේ මෙව්වා එකක් නොතිබුනොත් පුතාගේ නමට ඉදිරියෙන් විශේෂණ පද දාලා පුතාගේ දෙමව්පියන්ට මිය පරළොව ගිය ඥාතී බන්ධූන්ට එහෙම පිං අනුමෝදනා කරන්ට ඔට්ටු නැතිලු හරිය...

පුතාගේ පළමුවෙනි ක්‍රෂ් එක....

ඇතිවුනේ තුන වසරේදීලුය... පුතා ඒ වෙද්දි ඉගෙන ගත්තේ පුතාට අවුරුද්දක් වැඩිමල් ළමයි සමගය... 

ඇය සුදුය... කොණ්ඩය දිගය... අකුරු ලස්සනය... ගණිතයටද දක්ෂය... 

ඇය පුතාට වඩා අවුරුද්දක් වැඩිමල් වූ අතරම පුතාට වඩා අඩි භාගයක් වැනි සුළු උසකින් යුක්ත වූවාය... 

ඒ නමුත් පුතා එක හිතින්ම ඇයට පරම පිවිතුරු ආදරය පුද දුන්නේය... පුතාගේ මහාමෙරක් තරම් වූ ආදරය හමුවේ වයස උස වැනි දේ වැලි කැටයක් වග පුතා ඉඳුරාම දැන හුන්නේය... 

දෙදෙනා පාසල් ගියෙත් පාසල් ඇරී ආවෙත් එකටමය... ඉන්ටබල් එකට බෙදන ඉස්කෝතු සීට්ටු දමාගත්තෙත් අප දෙදෙනාය... පුතාගේ අන්නාසි රස මක්කේ පාවිච්චි කරන්නට දුන්නේත් ඇයට පමණක්මය... 

ඒ කෙසේ නමුත් පුතා ඇයට පුතාගේ පිවිතුරු ආදරය පිලිබඳ කිසිවක් දැන ගන්නට ඉඩ හැරියේ නැත... ඒ තව අවුරුදු දෙකකින් සිස්සත්තෙට මුහුණ දෙන්නට සිටින ඇයගේ ඉගෙනීමේ වැඩවලට එය බාධාවක් වන්නට ඉඩ ඇති හෙයිනි... ඇයගේ නම කියමින් පුතාට නම්වානම් පටබඳින කොල්ලන් සමග රණ්ඩු සරුවල් කරගන්නට ගියේ ලැජ්ජාවට නොව එය ඇයට ඇසුනි නම් ඇය ඉගෙනීම කඩාකප්පල් කරගනීවීය යන බියටය... 

තුනෙන් හතරට.... හතරින් පහට... කාලය විදුලි වේගයෙන් පියඹා ගියේය... 

ඇය සිස්සත්තේ සමත් වී නුවර බාලිකා විදුහලකට ඇතුල් විය... 

පුතාට සිස්සත්තෙට මුහුණ දීමට වයස මදි වූ හෙයින් තවත් වසරක් පහ වසරේම රැඳෙන්නට සිදු විය.... ඊ ලඟ අවුරුද්දේ පුතාටද සිස්සත්තේ සමත්වී නුවර පිරිමි ඉස්කෝලෙකට යන්නට හැකි විය... පුතාව බෝඩිමක නවත්තන්නට තීරණය විය... 

ඇයගේ පාසල කොළඹ පාරෙත් පුතාගේ පාසල කටුගස්තොට පාරෙත් වීම නිසා පුතාට ඇයව දැක ගැනීමට තිබුනු අවස්ථාව අහිමි වී ගියේය.... නමුත් ඈ වෙනුවෙන් පුතාගේ හද මන්දිරයේ තැනූ පෙම් මාළිගාවේ විවර වුනු දොරටු එලෙසින්ම විවරව තිබුනි... 

කාලය ගතවුනි... 

කාලයාගේ ඇවෑමෙන් ඒ විවර වුනු දොරටුවෙන් වෙනත් කුමාරිකාවන් දෙතුන් දෙනෙක් ඇතුල් වී තිබුනු නමුත් දොරටු විවෘතව තැබූ හෙයින් ඔවුන් පිටව ගොස් තිබුනි.... 

නැවතත් පුතාට ඇය හා ඇසුරු කරන්නට ලැබෙන්නේ පුතාගේ පළවෙනි රස්සාව කරන අතරතුරය... 

වියලී ඉරි තැලී ගිය බිමට නැවතත් වැහි පිණි වැටෙන්නට විය... මරණාසන්නවු රෝස පඳුරු යලිත් දළු ලා වැඩෙන්නට විය... ගොළුව කුරුළු ගී නද නැවුම් ප්‍රබෝධයකින් අවදි වන්නට විය....

සුපුරුදු කතාබහ අතීත මතක මැදින් දින සති කිහිපයක් ගෙවී ගියේය.... පෙරටත් වඩා ඇය පුතා හා ලෙන්ගතු වුවාය... තම සිතැඟි ඈ හමුවේ තබන්නට සුදුසු වේලාවක් එලඹෙන තුරු පුතා කල්යල් මනින්නට විය...

අතරතුරු දිනක්...

ඇය : වරුණ පොඩි කාරණාවක් කියන්ට ඔයා මොකුත් හිතන්නේ නෑ නේද...

කාජල් සමගින් ෂාරුක් පුතාගේ ඉහ අද්දරින් හිඳ කුච් කුච් හෝතාහේ ගයමින් වැස්සේ තෙමි තෙමී නටන්නට විය....

පුතා : පිස්සුද රසාංගි... ඕන දෙයක් කියන්ට.... මං මොනව හිතන්ටද....

ඇය : ඔයා දන්නවද අර කොඩිය පාගපු හාමුදුරුවොන්ගේ ඉස්කෝලේ ගිය රුවන්....

පුතා : ඔව්... 

දැල්වුනු තරු දහසක් සැනෙකින් නිවී යන්නට විය....


ඇය : එයා මගෙන් ඇහුවා...
පුතා : ඉතින්...
ඇය : මම හා කිව්වා...
පුතා : හ්ම්...
විනාඩි දෙක තුනක කල්පයක් නිහඬතාවය ගිල ගනිමින් පැවතින... 
දැඩි නිහඬ බව බිඳිමින් ඈ...
වරුණ දන්නවද... "ඔයා හැමදෙටම පරක්කු වෙනවා වැඩියි..."

එතෙක් ගී ගයමින් හුන් කොවුලෙක් කපුටු වෙස් ගෙන පුතාගේ කණ පිරෙන්නට වසුරු පිඩක් හෙලමින් පියඹා ගියේය....